නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තබමු!

නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තබමු!

පසුගිය වසරේ අත්පත් කර ගත් සියළු ජයග්‍රහණ මෙන් ම, මුහුණ දුන් අභියෝග නව වසර වෙනුවෙන් ශක්තියක් බවට පත් කර ගනිමින් උදා වූ 2026 වසර තුළ සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කර ගැනීමට නව ජවයකින් යුතුව පෙළ ගැසෙන ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය නව වසරට සුබ පැතුම් පණිවිඩයෙන් විශේෂයෙන් ඉල්ලා සිටී.

අගමැතිනියගේ සුබ පැතුම් පණිවිඩය පහතින් දැක්වේ.

ගෙවුණු වසරේ අප මුහුණ දුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කර ගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තබමු!

2026 නව වසරක් අභිමුව සිටින මේ මොහොතේ ගෙවීගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් තැබීමට හැකිවූ වසරක් ලෙස 2025 වසර පිළිබඳ එක්පසෙකින් අපට සතුටට පත්විය හැකිය.

නව දේශපාලන සංස්කෘතියක් මත රාජ්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් උදෙසා වන අඩිතාලම සැකසීමටත් අපට හැකි වූ බව මගේ විශ්වාසයයි.

ආර්ථික ස්ථාවරත්වය, ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිබඳව ඇතිවෙමින් පවතින සුබවාදී ධනාත්මක ආකල්ප මෙන්ම විනිවිදභාවයෙන් යුතු පාලන ක්‍රමවේදයක් සහ නීතියේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම වැනි ප්‍රධාන අංශ ගණනාවක් ඔස්සේ 2025 වසර පිළිබඳ අපට තෘප්තිමත් විය හැකිය.

කෙසේ වෙතත්, 2025 වසරේ අවසාන භාගයේ අප මුහුණ දුන් අවාසනාවන්ත ස්වභාවික ව්‍යසනය අපේ රටට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් විය. එය අප සැමගේ සිත් කම්පනයට පත් කළ ද, එවැනි මොහොතක ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ පෑ සහෝදරත්වය, සහකම්පනය සහ එකිනෙකාට උදවු උපකාර කරමින් නැගී සිටි ආකාරය පිළිබඳව ලෝකයේම කතාබහට ලක්වී තිබේ.

උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ එම අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සහ තිරසර වෙනසක් සනිටුහන් කරන අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම ඇතුළු, රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයක්ම ඩිජිටල්කරණය කිරීම, නව අදහස් සහිත ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෝලීය මට්ටමින් නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම, විෂ මත්ද්‍රව්‍යයෙන් තොර, පරිසර හිතකාමී සහ සහකම්පනයෙන් යුතු සමාජයක් ගොඩනැඟීම වැනි සුවිශේෂී අරමුණු රැසක් සමගින් ජාති, ආගම් හා පක්ෂ භේදයකින් තොරව, ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව මේ රට ගොඩනැඟීමේ වගකීම රජය ඇතුළු සමස්ත ජනතාව වෙත පැවරෙන බව මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමි.

ගෙවුණු වසරේ අප මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට මම ඔබට ඇරැයුම් කරමි.

ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ජයග්‍රාහී සුබ නව වසරක් වේවා..!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය

Facebook
Twitter
LinkedIn