චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා චීන පරිත්‍යාගයයක් ලෙස ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) අතර පැවති හමුවේදී යෝජනා කර තිබේ.
එම හමුව විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ඊයේ (29) පෙරවරුවේ සිදුව ඇත.
දිත්වා කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බවද එම හමුවේදී තානාපති සෙන්හොංග් ප්‍රකාශ කර තිබේ.
දැනට ගංවතුර තත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට චීන රජයෙන් කඩිනම් සහාය ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව පෙන්වා දී ඇති අතර වහාම චීන රජයේ අවධානය මේ කෙරෙහි යොමු කරවීමට ද තානාපතිවරයා එකඟ වී ඇත.
මීට අමතරව චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා චීන පරිත්‍යාගයයක් ලෙස ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් යෝජනා කර ඇත. ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය වැදගත් පියවරක් වනු ඇති බවත් පෙන්වා දී ඇත.
මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා මේ පිළිබඳවද චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කර තිබේ.











