අලි මිනිස් ගැටුම වැලැක්වීමට තවත් පියවරක් ඉදිරියට…

අලි මිනිස් ගැටුම වැලැක්වීමට තවත් පියවරක් ඉදිරියට…

ගල්ගමුව ආසනය තුළ පවත්නා අලි මිනිස් ගැටුම සම්බන්දයෙන් විසදුම් සෙවීම සදහා වන සාකච්ඡා කිහිපයක් අද (28) ගල්ගමුව සියඹලාංගමුව, කත්නෝරුව, ඇහැටුවැව හා දේවගිරිපුර ප්‍රදේශවලදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාලගේ සහ පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩිගේ පධානත්වයෙන් සිදු විය.

එහිදී එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා වන ක්ෂණික හා කෙටිකාලීන තීන්දු තීරණ රාශියක් ගෙන ඇති අතර දීර්ඝකාලීන විසදුම් සදහාද යෝජනා ඉදිරිපත් වී තිබේ. විශේෂයෙන්ම පසුගිය ආපදා සමයේදී විනාශ වූ අලි වැට ප්‍රතිසංස්කරණය කිරීම සදහාත් අලිවැට නොමැති ප්‍රදේශ සදහා විද්‍යාත්මක වූ නව අලිවැට කිහිපයක් ඉදි කිරීම සදහාත් තීරණය කර ඇත. ඒ අනුව සියඹලාංගමුව ප්‍රදේශයේ සිට කිලෝමීටර් 26ක පමණ දිග ප්‍රමාණයකින් යුත් අලි වැටක් නිර්මාණය කිරීමටත් යෝජනා අනුමත කර තිබේ. එමෙන්ම එම ප්‍රදේශ සදහා සිවිල් ආරක්ෂක බලකායෙන් නිළධාරීන් අනුයුක්ත කිරීමටත් අවශ්‍ය ප්‍රදේශ සදහා වන ජීවී උපකාර්යාල හා ජංගම කාර්යාල පිහිටුවීමටත් තීරණය කර ඇත.

එමෙන්ම මෙම අලි මිනිස් ගැටුම සදහා ස්ථිර විසදුම් වශයෙන් යෝජිත අලි කොරිඩෝ විධිමත් ලෙසින් ගොඩ නැගීමටත් වන අලින් සදහා අවශ්‍ය ආහාර හා ජලය ප්‍රමාණවත් පරිදි සමන්විත වන ආකාරයෙන් සුපෝෂිත කලාපයන් ගොඩ නැගීමටත් තීරණය කර තිබේ. එම ප්‍රදේශ විද්‍යාත්මක ලෙසින් හදුනා ගැනීම සදහා GPS තාක්ෂණයෙන් සිතියම් ගත කිරීමට ජනවාරි මාසයේ සිට සිදු කිරීමට තිරණය කර ඇත.

මෙම සියලු ක්‍රියාමාර්ගයන් නිශ්චිත කාලරාමුවක් යටතේ සිදු කිරීමට අදාල ක්‍රියාමාර්ග ගැනීමට ඇමති ආනන්ද විජේපාල විසින් නිළධාරින් හට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම සමස්ත කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මෙම ගැටලුව සම්බන්දයෙන් සාකච්ඡා කොට තවදුරටත් අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සදහා 2025 දෙසැම්බර් මස 31 වන දින කුරුණෑගල දිසාපති කාර්යාලයේදී පරිසර ඇමති වෛද්‍ය දම්මික පටබැඳි, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රජයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකාච්ඡාවක් පැවැත්වීමටද තීරණය කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිට ඇති අතර උක්ත තීන්දු තීරණවලට එළඹීම ජනතාවගේ අදහස් හා යෝජනාද සැලකිල්ලට භාජනය කර තිබේ.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන්, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වනජීවි දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්, ඇහැටුවැව ප්‍රාදේශීය ලේඛම් ඇතුළු නිළධාරීන් රැසක්ද සහභාගී වී සිට ඇත.

Facebook
Twitter
LinkedIn