අධිෂ්ඨානයේ හදවත් ගැන කතාවක්

අධිෂ්ඨානයේ හදවත් ගැන කතාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගෙන රට යළි ගොඩ ගැනීමට ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමාජයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

මේ වනවිට වාර්තා වන්නේ ජාත්‍යන්තර වශයෙන් ද සුවිශේෂී අවධානයක් යොමු වී ඇති බවයි. විනාශයට පත් මහා මාර්ග, දුම්රිය මාර්ග සහ මංමාවත් වේගයෙන් යථා තත්වයට පත් කරමින් ගෙන යන සැලසුම් සහගත වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පසුගිය 23 වෙනි දින දිනමිණ පුවත්පතේ පළ වූ ලිපියක් සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත පළ කෙරේ.

මේ හුදු ඉලක්කම් නොවේ – අධිෂ්ඨානයේ හදවත් ගැන කතාවක් !


ඉතිරි වූයේ සුන්බුන් ගොඩක් ය. චන්ද්‍රිකා ඡායාරූප මගින් හඳුනාගත හැකි නායයාම් දර්ශන 1,300ක් කියාපාන්නේ ඒ බව ය. තවත් පැත්තකින් ගම්පොළ නගරයේ ගොඩගැසී තිබූ කුණු කන්දෙන් කියැවෙන්නේ ද ඒ බව ය. නිවාස, වෙළෙඳ සල්, වෙනත් ගොඩනැගිලි ආදියේ තිබූ මිනිසුන් පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය සහ වෙනත් පරිහරණය කරන භාණ්ඩ කුණු කන්දක් බවට හැරී තිබිණි. මේ ප‍්‍රධාන සාක්‍ෂි දෙක පමණක් විග‍්‍රහ කොට බැලීමේ දී වුව ද, පැහැදිලි වන්නේ සුන්බුන් වී යාමට හේතු වූ විනාශයේ තරමය.

මේ සුන්බුන් මතින් ජන ජීවිත ගොඩ ගැනීමට ක්‍ෂණිකව රුපියල් කෝටි 7,200ක් යෙදැවී ය. ඊ ළගට තිබෙන්නේ ජන ජීවිත සහ රට යළි ස්ථිරසාරව ගොඩනැගීමයි. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50,000ක මුදලක් වෙන් කර ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුව පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරිණි. මුදල්, ක‍්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති, අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ ජන ජීවිත සහ රට යළි ගොඩනැගීම පිළිබඳව මැනැවින් කරුණු පැහැදිලි කළේ ය. ජනාධිපතිවරයාගේ කතාවේ දී ගෙනහැර දැක් වූ ආර්ථික සංඛ්‍යා දත්ත පිළිබඳව මීට වඩා ගැඹුරු අවධානයක් සමාජය යොමු කළ යුතුව තිබෙන බව පෙනේ. මෙම සටහන ලියැවෙන්නේ එම අවධානය යොමු කිරීම වෙනුවෙන් ය. ”ඔබ දන්නවා, දීර්ඝ කාලයක් තිස්සේ භාණ්ඩගාර ගිණුම පවත්වාගෙන ගියේ බැංකු අයිරාවකින්. ඇතැම් විට සියයට 33, 36 වැනි පොළියක් මේ බැංකු අයිරාව වෙනුවෙන් ගෙව්වා. 2018 බැංකු අයිරාව බිලියන 180යි. 2019දී එය බිලියන 274යි. 2020දී බිලියන 575ක් සහ 2021දී බිලියන 821ක් වුණා.” මේ ආකාරයට දුන්නෙන් මුදාහළ හීයක වේගයෙන් ඉහළ යමින් තිබූ බැංකු අයිරාව නතර කර 2025 නොවැම්බර් මස අවසන් වන විට භාණ්ඩාගාර ගිණුමේ ඉතිරිය රුපියල් බිලියන 1,202ක් බවට පත් කර ගැනීම පිළිබඳව සඳහන් කළේ ය. මේ ආකාරයට භාණ්ඩාගාර ගිණුමේ ඉතිරිය රුපියල් බිලියන 1,202ක් වන විට එයින් නිරුපණය කෙරෙන්නේ ඒ ඉලක්කමේ අගය පමණක් නොවේ. 2021දී රුපියල් බිලියන 821ක් වූ හිගය නැති නම්, බැංකු අයිරාව ද පියවාගෙන තවත් අමතරව බිලියන 1,202ක් ඉතිරි කරගෙන ඇති බව ය. ඒ අනුව 2025 නොවැම්බර් මාසයේ දී ඉලක්කම් තුළින් පෙන්වන ලද බිලියන 1,202 තුළ ඇත්ත ම අගය රුපියල් බිලියන 2,033ක් ය. භාණ්ඩාගාරයේ අයිරාව මෙන් ම රජය ලබා ගන්නා සමස්ත ණය සඳහා ගිනිපොළියක් ගෙවීමට ද සිදු වී තිබේ. ශී‍්‍ර ලංකා රජයට සහන පොළී ණය ලබා ගැනීමට හැකි වූ කාලය අවසන් කර දැන් බොහෝ කල් ය. එනිසා ණය ලැබෙන්නේ වාණිජ පොළියට නැත් නම්, ගිනිපොළියට ය.

ජනාධිපතිවරයා ප‍්‍රමුඛ වත්මන් රජය ගෙල දී සිටින්නේ මෙන්න මේ උරචක‍්‍රමාලයට ය. රට බංකොළොත් බව 2022 අප්‍රේල් 12 වැනි දින නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමෙන් පසුව ණය හිමියන් සමග සාකච්ඡා කර ලබා ගත් සහන කාලය තුළ පවා අති විශාල පොළියක් ගෙවීමට සිදු වී තිබිණ. 2026 වසර වෙනුවෙන් පොළී ගෙවීමට රුපියල් බිලියන 2,617ක් වෙන් කර තිබේ. ගෙවී යන 2025 වසර වෙනුවෙන් රුපියල් බිලියන 2,650ක් ද, 2024දී රුපියල් බිලියන 2,690ක් ද වශයෙන් පොළී ගෙවීමට සිදු විය. රජයේ වියදම්වලින් විශාල ම පංගුවක් වෙන් වී තිබෙන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට ය. 2026දී ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1,323ක් වෙන් කර ඇත. එහෙත්, ණය පොළී ගෙවීමට එමෙන් දෙගුණයකට ආසන්න මුදලක් එනම්, රුපියල් බිලියන 2,617ක් වී තිබීමෙන් මෙම උරචක‍්‍රමාලයේ තරම තේරුම්ගත හැකි ය. රජයේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වාර්ෂිකව ගෙවන්නේ ණය පොළිය පමණක් නොවේ. ණය වාරික ප‍්‍රමාණයක් ද ඊට ඇතුළත් ය. 2026දී ආපසු ගෙවීමට තිබෙන ණය වාරිකය රුපියල් බිලියන 1,878ක්ය. මේ අනුව ණය වාරිකය සහ පොළිය යන ගෙවීම් පාර්ශ්ව දෙකේ එකතුව රුපියල් බිලියන 4,495ක් ය. 2026 වසර වෙනුවෙන් අය-වැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී රජයේ උපරිම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,740ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබිණි. උපරිම සීමාව ඉක්මවා නොයන ආකාරයට හදිසි ආපදාවෙන් රට ගොඩ ගැනීමට වෙන් කර ගනු ලබන රුපියල් බිලියන 500 යොදා ගැනීම තවත් විශ්වකර්ම වැඩක් නොවේ ද? ජනාධිපතිවරයා ගෙනහැර දැක් වූ තවත් විශේෂ කරුණක් කෙරෙහි අවධානය යොමු කළ යුතු ම ය. ”ඒ වාගේ ම 1950න් පස්සේ අපේ ප‍්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙන්නේ අවස්ථා හයක දී පමණයි. ඒ අවස්ථා හයේ දී ද සියයට එකට අඩුයි. හැබැයි, ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපේ ප‍්‍රාථමික ගිණුමේ අතිිරික්තය මෙ සියයට 3.8ක් ලෙස වාර්තා කෙරෙනවා.” ‘ප‍්‍රාථමික ගිණුම’ කියන්නේ කුමක් ද යන්න සරලව තේරුම්ගෙන සිටීම වැදගත් ය. රජය වර්ෂයක් තුළ ලබා ගන්නා සමස්ත ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, ණය පොළී ගෙවීම, සහනාධාර ලබා දීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීම සහ රජයේ ආයෝජන ආදිය සඳහා වැය වන මුළු වියදම් දැරීම සඳහා වන ගිණුම ප‍්‍රාථමික ගිණුම වේ. මෙන්න මේ වියදම් දැරීමෙන් පසුව මෙරට ඉතිහාසයේ මුදලක් ඉතිරි වී තිබෙන්නේ වසර හයක දී පමණ ය. එම අවස්ථා හයේ දී ද එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකකට අඩු අගයක් වී තිබිණි. මෙවර එය සියයට 3.8ක් ලෙස ඉතිහාසයේ ඉහළ ම අගය වාර්තා කර තිබේ. මෙසේ ඉතිරි වන මුදල් රජයේ ණය වාරික ආපසු ගෙවීමට යොදා ගැනේ. එවිට ණය ආපසු ගෙවීම වෙනුවෙන් ණය ගැනීමට සිදු වන්නේ අඩු ප‍්‍රමාණයක් ය. පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කළ ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ගෙනහැර දැක්වූයේ ගෙවී ගිය වසර තුළ ආර්ථික ක්‍ෂේත‍්‍රයේ අත්පත් කර ගත් ජයග‍්‍රහණවලින් කීපයක් පමණක් ය. ඒ බව පැහැදිලිව දැකිය හැකි අවස්ථාවක් වන්නේ රජයේ ණය ලබා ගැනීමේ උපරිම සීමාවයි. මෙම වසරේ දී එම උපරිම සීමාව රුපියල් බිලියන 3,740ක් බව ඉහත දී දැක්විණි. පසුගිය ආණ්ඩුව විසින් සම්මත කර ගනු ලැබ තිබූ රජයේ වාර්ෂික ණය සීමාව හරි අඩකට වඩා අඩු කර ගැනීමට ද වර්තමාන රජය සමත්ව තිබේ. 2024 වර්ෂය වෙනුවෙන් රනිල් වික‍්‍රමසිංහ රජය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අය-වැය අනුව එම වසරේ රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 7,900කට ආසන්න වී තිබිණි. රජයේ භාණ්ඩාගාර ගිණුමේ අයිරාව ධන ශේෂයක් කර ගැනීම, ප‍්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් කර ගැනීම ආදී වශයෙන් මනා මූල්‍ය විනයක් පවත්වා ගැනීමෙන් රජයේ ණය ගැනීමේ සීමාව හරි අඩකින් කපාහැරීමට සමත්ව තිබෙන බව පැහැදිලි ය. මේ අතර තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් පිළිබඳව පැහැදිලි කර තිබිණි. ”ඒ වාගේ ම අපි දන්නවා අය-වැය ඉලක්ක ගත් විට මෙරට ඉතිහාසයේ ආදායම් ඉලක්ක අභිබවා ගිය වසර බවට මේ වසර පත්ව තිබෙනවා. මේ අවුරුද්දේ අපි අපේක්‍ෂා කළා බිලියන 4,960ක්. මේ දෙසැම්බර් 15 වන විට බිලියන 5,125ක ආදායමක් උපයාගෙන තිබෙනවා.” මේ සියල්ල මැද පවතින යථා තත්ත්වය පිළිබඳව ද ජනාධිපති, අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය. ”හැබැයි, අපට තිබුණේ විශාල කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් ොනවෙයි. කුඩා හෝ වැරැදි තීන්දුවකින් බරපතළ ගණයේ විනාශයක් ඇති කරනසුලූ ආර්ථිකයක් අපට තිබුණේ. ඒ නිසා ගත වූ මාස 14-15කට ආසන්න කාලය තුළ අපි ඉතාමත් සංයමයෙන් යුතුව වරද්දා ගන්නේ නැතිව ඉතා සියුම් තැන් පවා අධ්‍යයනය කරමින්, ආර්ථික ස්ථායීතාව ඇති කරගෙන තිබෙනවා. එය කිසිවකුට ප‍්‍රතික්‍ෂේප කරන්නට බැහැ.” කිසිවකුට ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි කරුණු දත්ත මගින් ජනාධිපතිවරයා කාටත් තේරෙන ආකාරයට පැහැදිලි කළේ ය.
මේ දත්ත නැත් නම්, සරල ලෙස කියන්නේ නම්, ඉලක්කම් නිකම් ම නිකම් හුදු ඉලක්කම් නොවේ. ලබා ගනිමින් තිබෙන ජයග‍්‍රහණ ප‍්‍රකාශ කිරීමට ඉලක්කම් නැතිව බැරි බව ඇත්ත ය. ඒ වාගේ ම මේ ආකාරයට ඉලක්කවලින් විග‍්‍රහ කළ නොහැකි බොහෝ දේ මේ ජයග‍්‍රහණ පිටුපස සැග වී, රහසේ ම තිබේ. මෙම ජයග‍්‍රහණ නිර්මාණය කරන ලද්දේ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතු හදවත් විසිනි. ඒ අධිෂ්ඨානයෙන් යුතු හදවත් ගැන කතාව ඉලක්කම්වලින් සහ දත්තවලින් විග‍්‍රහ කළ නොහැකි ය. ඒවා තියුණු බුද්ධිමය සහ සංවේදී හෘදය සාක්‍ෂි මත පරීක්‍ෂා කළ යුතු ය. ඒවා ඉලක්කම් සහ දත්ත ඉක්මවා ගිය ගැහෙන හදවත්වල ජීවගුණය පිළිබිඹු කරන ගුණයන් ය. ජනාධිපතිවරයා, අගමැතිවරිය, ඇමැතිවරුන් සහ මන්තී‍්‍රවරුන් පාලන බලය මෙහෙයවමින්, කළ හැකි සෑම කැප කිරීමක් ම කරනවා පමණක් නොව කළ හැකි යැයි ඇතැමුන් සිහිනෙන් පවා නොසිතන කැප කිරීම් මේ ජයග‍්‍රහණ තුළ සජීවීව පිරී පවතී. ජනාධිපති, අනුර කුමාර දිසානායක විදේශ නිල සංචාරවලට සහභාගී වී වැය කළ මහජන මුදල් ඉතාමත් ම අඩු ම අඩු අගයක පැවැතිණි. විදේශ සංචාර සඳහා ගුවන් ටිකට් පත්වලට වියදම් කළ ඉතා ම අඩු මුදල හාස්‍යයට ලක් කළ එක් විහිලූකාර මන්තී‍්‍රවරයකු පැවසුවේ, ”ජනාධිපතිවරයා රට ගියේ ෆුට්බෝඞ් එකේ එල්ලිලා ද...?” කියා ය. තවත් විටෙක කීවේ, ”බාගෙ ටිකට් එකකින් ගියා ද...?” කියා ය. මේ ප‍්‍රකාශ තුළින් කියැවෙන්නේ තව දුරටත් ඔවුන් ජනතාවගේ දේශපාලන විඥානය සමග සෙල්ලම් කරන බව ය. ජනතාවගේ ජීවිත තව දුරටත් ඔවුනට දාදු කැටයක් පමණක් ය.

එසේ තිබිය දී, මේ මහා ව්‍යසනයෙන් රට ගොඩ ගැනීම සඳහා රජය ගෙන යන විස්මයජනක මැදිහත් වීම ලොවක් ඉදිරියේ නිරීක්‍ෂණයට ලක් වී තිබේ. දකුණු කොරියාවේ රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයකු රුපියල් 400.00ක් රට නැවත ගොඩනැගීමේ අරමුදලට පරිත්‍යාග කිරීමේ, මලයගම් ජනතාව රුපියල් 21,000.00ක් පරිත්‍යාග කිරීමේ මෙන් ම බන්ධනාගාර රැඳවූවන්ගේ ආහාර වියදම පරිත්‍යාග කිරීමේ සිට ස්වීඩන් ජාතික කාන්තාවක් ඩොලර් 33,000ක් පරිත්‍යාග කිරීම දක්වා පරාසයක තිබෙන්නේ විසල් හදවත් සහිත මිනිසුන් පිළිබඳ කතාවය.
මේ සියල්ල අතරේ ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා මං මාවත්, අමුණු, ඇළ වේලි, වැව් බැමි ඉදි කිරිම්, දුම්රිය මාර්ග විස්මයජනක ලෙස යළි පණ ලැබීම් දක්වා තවත් අධිෂ්ඨානයේ මෙහෙයුම් රැසක් නොනැවැතී ක්‍රියාත්මකව පවතී. මේ කිසිවක් ආර්ථික දත්තවලින්, ඉලක්කම්වලින් ගිණිය නොහැකි ය. විසල් හදවත් අධිෂ්ඨානයේ ගමනක යෙදී සිටින්නාහ. ලබන වසර ආරම්භයේ සිට රුපියල් කෝටි 50,000ක් වූ මුදලක් වැය කෙරෙන්නේ ඒ හදවත්වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම් සැපයීම් වෙනුවෙන් ය. ආචාර්ය රුචිර එන්. විජේසේන පෙන්වා දී ඇත්තේ, නොවැම්බර් මස 27 වැනි දින දිස්ත්‍රික්ක 10කට පමණ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවේ ශක්තිය හිරෝෂිමාවට හෙළුෑ පරමාණු බෝම්බයේ ප‍්‍රබලතාව මෙන් 200 ගුණයකට වැඩි බව ය. එවැනි ප‍්‍රබලතාවකින් සුන්බුන් බවට පත් වූ ශ්‍රී ලංකාව ලෝකයේ විස්මිත ජයග‍්‍රහණ අත්පත් කර ගනිමින්, පෙරට ම යන බව මේ වන විටත් දැඩි අධිෂ්ඨානයෙන් යුත් හදවත් විසින් ඔප්පු කර හමාර ය.

Facebook
Twitter
LinkedIn