විපතට පත් ජනතාවට සහන සැලසීම මෙන්ම ජන ජීවිතය යළි ස්ථාපිත කිරීමේදීද සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍යයි – ජනපති අවධාරණය කරයි

විපතට පත් ජනතාවට සහන සැලසීම මෙන්ම ජන ජීවිතය යළි ස්ථාපිත කිරීමේදීද සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍යයි – ජනපති අවධාරණය කරයි

ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතරම ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමට ඉහළ අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා සියලු දෙනා අතර මනා සම්බන්ධීකරණයෙන් යුත් ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර දිසානායක පෙන්වා දුන්නේය.

ජනාධිපති මේ බව සඳහන් කළේ ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අදාළ රේඛිය අමාත්‍යාංශ සහ ආයතන සමග අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. මෙහිදී මහා මාර්ග හා සෙසු මාර්ග, පානීය ජල පහසුකම්, වාරිමාර්ග ප්‍රතිසංස්කරණ සහ දුම්රිය මාර්ග හා දුම්රිය සේවා යළි ස්ථාපනය පිළිබඳව අවධානය යොමු විය.

ආපදා තත්වය හමුවේ විනාශ වී ගිය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රවාහන පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සඳහා හානියට පත් සියලුම මාර්ග හදුනා ගැනීම, දුම්රිය මාර්ග හා සේවා ප්‍රතිසංස්කරණයට උපක්‍රමික වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරන ලදී.

සියලුම යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයේ පළමු පියවර හානි තක්සේරු කිරීම බවත්, ඒ සමගම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගත හැකි සම්පත් (භෞතික හා මානව සම්පත්) හඳුනා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දෙන ලදී.

එමෙන්ම මෙම කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ඉදිරිපත් කෙරුණු ගැටලු සඳහා සාධනීය විසදුම් ලබා දීමට ජනාධිපති කටයුතු කළේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යන කේන්ද්‍රීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන මණ්ඩලය ආදී ආයතනවල ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරිහුද, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ට නිලධාරිහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn