මොරොක්කෝව පුරා පැතිරී ගිය Z පරපුරේ විරෝධතා වලින් පසු එරට රජය නව ප්‍රතිසංස්කරණ, සුබ සාධක යෝජනා රාශියක් තරුණයන්ට පොරොන්දු වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. මේ වන විටත් විරෝධතා දිගටම පවතින අතර මොරොක්කෝ රාජාණ්ඩු පාලනය සෞඛ්‍යය, අධ්‍යාපනය, සඳහා නව රජයේ සේවකයින් 27000ක් බඳවා ගැනීම, දුෂ්කර ප්‍රදේශ වල සංවර්ධනය, ජනතාවගේ සමාජ සුබසාධනය සඳහා රාජ්‍ය වියදම් ඉහල නැංවීමට තීරණය කර ඇත. නමුත් විරෝධතා ව්‍යාපාරයේ ඇතැම් තරුණ කොටස් පවසන්නේ රජයේ යෝජනා ප්‍රමාණවත් නොවන බවයි. කෙසේ නමුත් රජයේ මෙම නව යෝජනා හේතුවෙන් තරුණ ව්‍යාපාරය බෙදියාමකට ලක් වී දුර්වල වී ඇතැයි ද ඇතැම් විදේශ මාධ්‍ය මේ අතර පෙන්වා දේ.
.
අප්‍රිකානු මහාද්වීපයේ උතුරු කලාපයේ පිහිටා තිබෙන මොරොක්කෝව 2011 වසරේ සිට ව්‍යවස්ථා දායක-රාජාණ්ඩු ක්‍රමයක් මත පාලනය වන රටකි. සංචාරක කර්මාන්තය, ඔලිව්, පළතුරු හා එළවළු, තිරිගු අපනයනය ඇතුළු කෘෂිකර්මය, හා සේවා ආර්ථිකය, කාර්මික කේෂ්ත්‍රයේ රෙදිපිළි, පොස්පේට්, රසායනික ද්‍රව්‍ය, ගුවන් තාක්ෂනය යන යන කේෂ්ත්‍ර මට යැපෙන රටක් වේ. කෙසේ වෙතත් පසුගිය වසර 50 තුල මොරොක්කෝව තුල ද්‍රවිද්‍රතාවය, අසමානත්වය, නගරය හා ගම අතර පවතින අසාමාන්‍ය පරතරය, දුෂණය ඉතා ඉහල මට්ටමක පවතින රටක් ලෙස ලෝක දත්ත වල නිතර කියවෙන රාජ්‍යයක් වේ. විශේෂයෙන් සහරා දේශය ආක්‍රමණය කිරීම හා වාමාංශික පක්ෂ හා වෘත්තීය සමති වලට අයත් විරුද්ධ පාක්ෂිකයින් මර්දනය කිරීම් නිසාද මානව අයිතිවාසිකම් සංවිධාන වල තියුණු විවේචනයට ද ලක් වේ.
මෙම ආර්ථික අර්බුධ තත්වය කොරෝනා වසංගතයත් සමග තව තවත් උග්‍ර විණි.ඒ අනුව නිදහස්, ගුණාත්මක රාජ්‍ය අධ්‍යාපනයක්, සමාන අවස්ථා සහතික කිරීමත් සහ අධ්‍යාපන කේෂ්ත්‍රයේ තිබෙන තදබදය සහ මුල් පාසල් හැරයාමට එරෙහිව සටන් කිරීම, ප්‍රමාණවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම , නවීන උපකරණ ඇතිව සියලුම කලාපවල ප්‍රමාණවත් වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සහිත යහපත් රාජ්‍ය සෞඛ්‍ය සේවා ලබා දීම, රටේ තරුණයින්ට ගෞරවනීය අනාගතයක් ගොඩනැගීමට හැකි වන සාධාරණ රැකියා අවස්ථා, බඳවා ගැනීම් සහ රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවය සහ වගවීම සමඟ දූෂණය, අනුග්‍රහය සහ ඥාති සංග්‍රහයට එරෙහි සටන කිරීම, දුප්පත් සහ දේශසීමා කලාපවල අතහැර දමා ඇති දුෂ්කර ප්‍රදේශ වල ජිවත්වන ජනතාව වෙනුවෙන් සැබෑ සමාජ සාධාරණත්වය ඉල්ලා වීදි බසින්නට විනි.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් අග සිට මොරොක්කෝ තරුණ සාමූහිකය වන GenZ 212 විසින් නිතිපතා රැස්වීම් පවත්වමින් වීදි වලට අවතීර්ණ වෙමින් සිටින අතර එය තවමත් අවසන් වී නැත. එරට රජු ඇතුළු ආණ්ඩු රාජ්‍ය බලධාරීන් ද නැවත පාලනය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටී. තරුණ හා ශිෂ්‍ය ව්‍යාපාරය මන්දගාමී වීමේ සලකුණු පෙන්නුම් කළද, මෙම සති අන්තයේ, විශේෂයෙන් එරට අගනුවර රබා හි පාර්ලිමේන්තුව ඉදිරිපිට නව තරුණ ඒක රාශි වීමක් දක්නට ලැබිනු බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.
මෙම තත්වය හමුවේ තරුණයින්ට දේශපාලනයට සම්බන්ධ වීමට සහ සමාජ ප්‍රතිසංස්කරණවලට සහාය වීමට දිරිගැන්වීම සඳහා මොරොක්කෝ රජය ඉරිදා පියවර මාලාවක් යෝජනා කළේය. සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මොරොක්කෝ රාජ්‍ය නායක හයවන මොහොමඩ් රජු වෙත ඉදිරිපත් කරන ලද 2026 සඳහා වන අයවැය අඩංගු මූල්‍ය නීතියේ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව, මහජන ජීවිතය නවීකරණය කිරීම සහ පුරවැසි සහභාගීත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මූලික නීති කෙටුම්පත් කිහිපයක් සම්මත කර ඇති බව රාජකීය කැබිනට් මණ්ඩලය නිල මොරොක්කෝ ප්‍රවෘත්ති ඒජන්සිය වන MAP විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
ඒ අනුව “වයස අවුරුදු 35 ට අඩු තරුණයින්ට දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට දිරිගැන්වීම සඳහා,” මැතිවරණවලදී අපේක්ෂකත්වය සඳහා ඔවුන්ගේ සුදුසුකම් සරල කිරීමට සහ මැතිවරණ ප්‍රචාරක පිරිවැයෙන් 75% ක් දක්වා ආවරණය වන පරිදි ප්‍රදාන ලබා දීම ඇතුළු ව්‍යාපෘතියක් සැලසුම් කරන බව එම ප්‍රකාශයේ සඳහන් වේ. ඒ ආකාරයෙන්ම, තවත් පනත් කෙටුම්පතක් දේශපාලන පක්ෂ නවීකරණය කිරීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ නිර්මාණ සහ කළමනාකරණය සඳහා කාන්තාවන් සහ තරුණයින්ගේ සහභාගීත්වය දිරිමත් කිරීම අරමුණු කර ඇති බව ද වාර්තා වේ.
ඒ සමඟම, මරණ කිහිපයකට හේතු වූ සහ බොහෝ බාල වයස්කරුවන් ඇතුළුව අවම වශයෙන් 600 දෙනෙකු සිරගත කිරීමට හේතු වූ අඛණ්ඩ ආතතීන් සමනය කිරීමේ උත්සාහයක් ලෙස, රජය 2026 සඳහා “අයවැය විශේෂ අරමුදලක්ද ” ද නිවේදනය කළේය. මෙය විශේෂයෙන් සමාජ අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇත: සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා ඩිරාම් බිලියන 140 ක් හෙවත් (ඩොලර් බිලියන 13) වෙන් කරනු ලබන අතර, අංශ දෙකෙහිම තනතුරු 27,000 කට වඩා නිර්මාණය කෙරේ.
එසේම නව විශ්ව විද්‍යාල රෝහල් (CHU) අගාදීර් (දකුණු) සහ ලායූන් යන දුෂ්කර ප්‍රදේශ වල (බටහිර සහරාවේ මතභේදාත්මක ප්‍රදේශයක නගරයක් ලෙස සැලකේ ) හි විවෘත කෙරෙන අතර, අදාල යෝජනා වලට අනුව රට පුරා රෝහල් 90 ක් ප්‍රතිසංස්කරණය කෙරේ. අධ්‍යාපනය සම්බන්ධයෙන්, පෙර පාසල් අධ්‍යාපනය පුළුල් කිරීම, පාසල් අධ්‍යාපනය සඳහා සහාය ශක්තිමත් කිරීම සහ ඉගැන්වීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම මගින් පාසල් පද්ධතියේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට රජය අදහස් කරයි. එරට කැබිනට් මණ්ඩල වාර්තා වලට අනුව, කඳුකර ප්‍රදේශ සහ ක්ෂේම භූමි වැනි වඩාත්ම අවාසි සහගත කලාප කෙරෙහි මෙන්ම තිරසාර වෙරළබඩ සංවර්ධනය සහ ග්‍රාමීය මධ්‍යස්ථාන නවීකරණ වැඩසටහන පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමටද එමගින් යෝජනා කර ඇත.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තා අනුව මොරොක්කෝවේ වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණයින්ගෙන් 25.2% කට අධ්‍යාපනය, රැකියාව හෝ රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ලබා නැත – එනම් මෙම පිරිස රටේ ජනගහනයෙන් මිලියන 1.5 ක් වේ. මෙම සංඛ්‍යාව වයස 35 දක්වා දීර්ඝ කළහොත්, එය මිලියන 4.3 ක් ආන්තික හා රැකියා විරහිත තරුණයින් වේ. 2024 දී ජාතික විරැකියා අනුපාතය 13% සිට 13.3% දක්වා ඉහළ ගොස් ඇත. තරුණයින් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ වයස අවුරුදු 15-24 අතර 36.7% ක් සහ වයස අවුරුදු 25-34 අතර 21% ක් ලෙසය. විශේෂයෙන් උපාධිධාරීන් 2022 දී 60% කට වඩා පිරිසක් රැකියා විරහිතව ජිවත් වේ.
තරුණයන් අතරින් බිහි වූ GenZ212 ව්‍යාපාරය මෙම තරුණ කෝපය මුළු ගැන්වීම සඳහා ලක්ෂ්‍යයක පමණ පිරිසක සහය ලබා ගැනීමට සමත් වී ඇති අතර, කම්කරු පන්තියේ, රටේ බහුතර ජනතාවගේ සහ මධ්‍යම පන්තිකයන් හා රටේ ජනප්‍රිය අංශවල අනුකම්පාව ලබා ගැනීමට සමත් ව ඇත.










