`සිරිලිය’ විමර්ශනයකට ලලිත් වීරතුංගට CIDයෙන් කැඳවීමක්…

`සිරිලිය’ විමර්ශනයකට ලලිත් වීරතුංගට CIDයෙන් කැඳවීමක්…

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ලලිත් වීරතුංගගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ඒ් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා තීරුබදු රහිතව ආනයනය කරන ලද බස් රථයක් කාල්ටන් පෙර පාසලට ලබා දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළවය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් වන විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ආරම්භ කර ඇත.

එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව පැවසේ.

මෙම පරීක්ෂණය ‘සිරිලිය සවිය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවල කොටසක් බවද පැවසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‘සිරිලිය සවිය’ ගිණුමට අදාළ විවිධ අක්‍රමිකතා 07 සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබී ඇත.

පසුව නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ සිද්ධීන් 07න් 06කටම අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. පසුව එම නඩු ගොනුව අත්හැර දමන ලදි.

කෙසේ වෙතත්, බස් රථය සම්බන්ධයෙන් අලුත් සාක්ෂි මතුවීමත් සමඟ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට නව කරුණු ඉදිරිපත් කර විමර්ශන නැවත ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn