නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරු වන මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති උපදෙශකයෙකු වූ අජිත් ගාල්ලගේ නැමැත්තා ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඊයේ (16) නාරාහේන්පිට ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් ඔහුට අයත් නාගරවැව කුරුලු උයනේ ගබඩාවක සඟවා තිබියදී පසුගිය ජූලි 12 වනදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගනු ලැබීය.
පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි බවය.
මේ අතර, මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 04ක් සමග මෙම සත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකද එදින අත්අඩංගුවට පත්වූ අතර පසුව සැකකරුවන් දෙදෙනා ජූලි 13 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 40 හා 50 වයස්වල පසුවන මාතර හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.




















