තුර්කි රජය සමඟ යුද්ධයක පැටලී සිටින කුර්දිස්තාන් කම්කරු පක්ෂය වන PKK කුර්දි ගරිල්ලා කණ්ඩායම මෙම සිකුරාදා එනම් ජූලි 11 වන දින ඉරාකයේ දී සිය පළමු ආයුධ බිම තැබීමට තීරණය කිරීමත් සමඟ දශක හතරක් පුරා නිවහල් වෙනම කුර්දි රාජ්‍යයක් සඳහා වූ අරගලයේ සිදුවූ ඓතිහාසික පරිච්ඡේදයක් අවසන් වනු ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.
පළමුවන ලෝක මහා යුද්ධයේ සිට සිරියාව, ඉරාකය, ඉරානය හා තුර්කිය තුල බෙදී ගොස් තිබෙන මිලියන 85ක කුර්දි ජනතාවගෙන් තුර්කි රජය සමඟ යුද්ධයක යෙදී සිටින කුර්දිස්තාන් කම්කරු පක්ෂය වන PKK හි කුර්දි සටන්කරුවන් තිහක් පමණ ජූලි 11 වන සිකුරාදා ඉරාකයේ නිරායුධකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ අතර, එය දශක හතරක ප්‍රචණ්ඩත්වය අවසන් කරනු ලබන බවට වූ ප්‍රතිඥාවක්ද ලබා දෙන ලදී.
ප්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදියෙකුට අනුව, උතුරු ඉරාකයේ කුර්දිස්තානයේ ස්වයං පාලන ප්‍රදේශයේ සුලෙයිමානියා සිට කිලෝමීටර් 50 ක් බටහිරින් සිකුරාදා උදෑසන පැවති උත්සවයකදී ව්‍යාපාරයේ අණ දෙන නිලධාරීන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ සගයින් ආයුධ බිම තබා සංකේතාත්මකව ඒවා පුළුස්සා දැමූහ. PKK කුර්දි ගරිල්ලා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මෙම ආයුධ බිම තැබීම “ඓතිහාසික හා ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුමක්” ලෙස ප්‍රශංසා කර සිටින අතර එමගින් තම ජනතාවට නිදහස, සමානාත්මතාවය, සාධාරණත්වය තහවුරු කරනු ඇති බවටද තම විශ්වාසය පල කර සිටි.
මෙම සංකේතාත්මක ආයුධ බිම තැබීමෙන් පසුව PKK සටන්කාමින් 300 දෙනා ඔවුන් කඳවුරු බැඳ සිටින අසල ඉරාක කඳුකරයට නැවත ගොස් ඇති බවටද ප්‍රංශ පුවත්සේවය සඳහන් කර සිටි. ආරක්ෂක හේතූන් මත සිකුරාදා නිල වශයෙන් ආරාධනා කරන ලද අමුත්තන් ප්‍රමාණය සුළු සංඛ්‍යාවක් වූ අතර, PKK සහ තුර්කි රජය අතර මැදිහත්කරු වන කුර්දි හිතවාදී තුර්කි පක්ෂයේ DEM හි තේරී පත් වූ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහබාගී වූහ. ඉරාක කුර්දිස්තානයේ ස්වයං පාලිත ෆෙඩරල් රජයේ නියෝජිතයින් සහ එහි සභාපති නෙචිර්වාන් බර්සානි ද මෙම උත්සවයට සහභාගී වූ නමුත් තුර්කි මාධ්‍යවලට අනුව බුද්ධි අංශ සාමාජිකයින් හැර අන්කාරා විසින් යවා ඇත්තේ කවුරුන්ද යන්න නිශ්චිතව දක්වා නොමැත. කෙසේවෙතත් PKK ආරංචි මාර්ග සඳහන් කරනුයේ මෙහෙයුම් ආරම්භ වීමට පැය කිහිපයකට පෙර, කුර්දි ගරිල්ලා හමුදා ස්ථාන අසල ගැවසුණු ඩ්‍රෝන යානා දෙකක් වෙඩි තබා බිම දැමූ බව ට ප්‍රාදේශීය කුර්දි ගරිල්ලන් ටික කලකට පෙර නිවේදනය කර තිබුණි.
තුර්කියේ සිර කඳවුරක ගාල් කර සිටින PKK ගරිල්ලා නායක 76 හැවිරිදි අබ්දුල්ලා ඔචලන් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින ඉදිරිපත් කරන ලද සටන් විරාමය හා ආයුධ බිම දැමීමේ යෝජනාවෙන් ආරම්භ කරන ලද මෙම සාමය සඳහා ඉල්ලීම මගින් අවම වශයෙන් 40,000 ක් මිය ගොස් ඇති දශක හතරකට වැඩි කාලයක් තිස්සේ පැවති තුර්කි රජය සමග ඇති වූ ප්‍රචණ්ඩ අරගලය ආපසු හැරවීමට සහ ජාතික හා කලාපීය මට්ටමින් කුර්දි ගැටළුව විසඳීමට මෙම එයතිහාසික අවස්ථාව උපකාරී වනු ඇතැයි දේශපාලන හා මිලිටරි විශේෂඥයෝ මේ අතර පවසති.
මෙම PKK සංවිධානය විසින් සාමය සඳහා තැබූ පියවර “ආපසු හැරවිය නොහැකි හැරවුම් ලක්ෂ්‍යයක් වන බවත් අහිංසක ජීවිත ආරක්ෂා කිරීමට සහ ත්‍රස්තවාදයෙන් තොර අනාගතයක් ගොඩනැගීමට අවස්ථාවක්” උදාවනු ඇතැයි ,” ඇන්කාරා රජයේ ජ්‍යෙෂ්ඨ තුර්කි නිලධාරියෙක් නිර්නාමික කොන්දේසියක් මත AFP මාධ්‍ය වෙත පවසා සිටියේ, “කලාපයේ නිරායුධකරණය, ස්ථාවරත්වය සහ කල් පවතින සංහිඳියාව සඳහා වන සියලු උත්සාහයන්ට සහාය දීමට තුර්කිය කැපවී සිටින” බවට ද සහතික වෙමිනි.
කෙසේවෙතත් තුර්කිය හා යුරෝපා සංගමය හා ඇමරිකාව තවමත් PKK සංවිධානය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස සලකයි.
තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ජාතිකවාදී MHP පක්ෂයේ නායක ඩෙව්ලට් බහ්සෙලි සන්නද්ධ අරගලය අත්හැර “පාර්ලිමේන්තුව ඉදිරියේ කතා කිරීමට පැමිණෙන්න” යනුවෙන් PKK සටන්කරුවන්ට ආරාධනා කළේය. තුර්කි රාජ්‍ය නායකයා එරෝගන් ද මෑතකදී “ත්‍රස්තවාදීන්ගෙන් තොර තුර්කියක්” දැකීමට තම විශ්වාසය ප්‍රකාශ කළ අතර, “මෙම පොරොන්දු වූ ක්‍රියාවලිය හැකි ඉක්මනින් සාර්ථකව අවසන් වනු ඇති බවත් බාධා හෝ කඩාකප්පල්කාරී අවදානමකින් තොරව” එය අවසන් වනු ඇති බවට ද අපේක්ෂා පල කර සිටි.
1999 දී කෙන්යාවේ සිට අත්අඩංගුවට ගන්නා ලද PKK ගරිල්ලා නායක අබ්දුල්ලා ඔචලන් වසර 26ක් පුරා සිට තුර්කියේ ඉස්තාන්බුල් වෙරළට ඔබ්බෙන් පිහිටි ඉම්රාලි බන්ධනාගාර දූපතේ තවමත් රඳවා සිටින අතර, ඔහුගේ අණ දෙන නිලධාරීන් ඔහුගේ නිදහස් කිරීම පූර්ව අවශ්‍යතාවයක් බවට පත් කර තිබුණද, නිදහස් කරන ලෙස ඉල්ලා සිටින්නේ ද නැත.
“අපේ නායක අපෝගේ සිර ගෙදර රඳවා තැබීම සාම ක්‍රියාවලියට ඍජුව බලපාන අතර එය මන්දගාමී ද කරනු ලබයි,” යයි ජ්‍යෙෂ්ඨ PKK නිලධාරියෙකු වන මුස්තාෆා කරසු පසුගිය සතියේ මාධ්‍ය වෙත පැවසීය.
බදාදා, තුර්කි භාෂාවෙන් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින්, ඔහුගේ අනුගාමිකයන් ඔහුව හඳුන්වන පරිදි, “අපෝ” (මාමා) හෙවත් අබ්දුල්ලා ඔචලන් තම සංවිධානය විසිරුවා හැර සිදු කරන නිරායුධකරණයේ ආසන්න බව එමගින් තහවුරු කර සිටියේය.
“මම විශ්වාස කරන්නේ දේශපාලනයේ සහ සමාජීය සාමයේ බලය මිස ආයුධ සන්නද්ධ ක්‍රියා කාරකම් හි බලය නොවේ. මෙම මූලධර්මය ක්‍රියාවට නංවන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි,” යයි ඔහු මෙම දීර්ඝ දේශනයේදී අවධාරනය කළේය.
අවසාන විග්‍රහයේදී PKK සංවිධානය ඉතාමත් උපක්‍රම ශීලිව ඔවුන් මේ වන විට සිරියාවේ හා ඉරාකයේ ලබා ගෙන ඇති සන්නද්ධ හා දේශපාලන ජයග්‍රහණයන් ඔස්සේ තුර්කිය තුල දී මිලියන 20ක කුර්දි ප්‍රශ්ණය එරට ජාතික තලය තුල හා ජාත්‍යන්තර දේශපාලන වේදිකාවට රැගෙන ඒමට සමත් වී ඇතැයි දේශපාලන විචාරකයින් මේ අතර තව දුරටත් පෙන්වා දේ. එසේම PKK සංවිධානය සිරියාව තුල පවත්වාගෙන යනු ලබන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සහිත “රෝජාවා ස්වයං පාලිත පාලන ක්‍රම සහිත රාජ්‍ය ව්‍යුහය තුර්කිය තුල පැතිරීම වර්තමාන එර්දෝගන් රජය එතරම් කැමැත්තක් එයට දක්වනු නොලැබෙනු ඇතැයි ද ඔවුන් අනතුරු හඟවා සිටි.










