මාස තුනකට ආරම්භ කළ පැය 24 සේවාව අවසන්… සාමාන්‍ය නිකුත් කිරීම් දිගටම…

මාස තුනකට ආරම්භ කළ පැය 24 සේවාව අවසන්… සාමාන්‍ය නිකුත් කිරීම් දිගටම…

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මාස තුනක කාලයක් සඳහා තාවකාලිකව ආරම්භ කළ පැය 24 සේවාව අද (300 දිනයෙන් පසු අවසන් වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.

ඒ අනුව 2025 ජූනි මස 02 දින සිට රජයේ වැඩ කරන දිනයන්හිදී සාමාන්‍ය කාර්යාල වේලාව ඇතුළත කිසිදු බාධාවකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව ඇතුළු ඕනෑම සේවාවක් ලබාගත හැකි බවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ,

“සියලුම මාධ්‍ය ආයතන වෙත,

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කටයුතු සම්බන්ධයෙන් මහජනතාව වෙත සිදුකරන දැනුවත් කිරීමයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සිය හදිසි සේවා අවශ්‍යතාවය මත කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව 2025 පෙබරවාරි මස 18 වන දින සිට මාස තුනක කාලයක් සඳහා පැය විසි හතර පුරා මහජනතාවට සේවය සැපයීම සඳහා විවෘතව තැබීමට තීරණය කරන ලදී.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තැබීමට ගත් තීරණයෙහි අපේක්ෂිත අරමුණු සාධනීය ලෙස ඉටුවී ඇති බව නිරීක්‍ෂණය වී ඇත. ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ශ්‍රමයෙහි ඵලදායීතාවයත්, පැය 24 පුරා විවෘතව තැබීම වෙනුවෙන් වැයවන පිරිවැයත් හා දිනකට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ප්‍රමාණයෙහි ක්‍රමික අඩුවීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය 2025 මැයි මස 30 වන දින සිට අවසන් කරන බවත් ඒ අනුව 2025 ජුනි මස 02 දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී පමණක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් තරම් හිස් විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් පවතින බවත් එම නිසා මින් ඉදිරියට කිසිදු අවස්ථාවක විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් ඇති නොවන බවත් ඒ පිළිබඳව අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වශයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම තම හදිසි අවශ්‍යතාවයන් මත විදෙස් ගමන් බලපත්‍ර එක් දින සේවයේ යටතේ ලබා ගැනීමේ හැකියාව මහජනතාව වෙත ඇති අතර සාමාන්‍ය ක්‍රමය යටතේ අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව මාස එකහමාරක් වැනි කාලයක් තුළදී සේවය වඩාත් කාර්යක්ෂමව ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව හදිසි අවශ්‍යතාවයක් නොමැති නම් සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන මෙන්ද මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

එපමණක් නොව බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අමතරව වවුනියාව, කුරුණෑගල, නුවර සහ මාතර යන ප්‍රදේශවල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ නංවා ඇති නිසාත් එම ප්‍රාදේශීය කාර්යාලද වඩාත් කාර්යක්ෂම සේවය සපයන ආයතන බවට පත් කිරීම සඳහා තීන්දු තීරණ රාශියක් මේ වනවිට ගෙන ඇති නිසාත් එම ප්‍රදේශවල ජනතාවට එකී ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට යොමු වෙන ලෙසත් ඉල්ලා සිටිමු.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්