මාතර – යටියන උළු හා ගඩොල් කම්හල වැඩි දියුණු කිරීමට පියවර

මාතර – යටියන උළු හා ගඩොල් කම්හල වැඩි දියුණු කිරීමට පියවර

මාතර – යටියන උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව විවිධ හේතූන් මත මේ වනවිට අක්‍රීය තත්වයේ පවතින අතර එම කර්මාන්ත ශාලාව හා භූමිය වඩාත් ඵලදායී ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදා ගැනීම සඳහා පවතින සක්‍යතාව පිළිබඳව සොයා බැලීමට වූ නිරීක්ෂණ චාරිකාවකට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය එල්.එම් අබේවික්‍රම පසුගියදා සහභාගි විය.

ප්‍රදේශයට සම්පතක් වූ ප්‍රදේශයේ ජනතාවට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් ලබා දී දේශිය ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ මෙම කර්මාන්ත ශාලාව හා භූමිය විනාශ වීමට ඉඩ නොදී වඩාත් ඵලදායී ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කර කර ඇත.

ජාතික සුළු කර්මාන්ත සංයුක්ත මණ්ඩලයේ කර්මාන්ත ශාලාවක් වශයෙන් 1964 මැයි මස 30 වැනි දින එවකට වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සේනානායක විසින් මෙම උළු කම්හල විවෘත කර ඇත.

උළු වෙනුවට විවිධ ආදේශක රට තුළ ව්‍යාප්ත වීමත්, උළු හා ගඩොල් නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන මැටි සොයා ගැනිමට ඇති අපහසුතාවයත් හේතුවෙන් යටියන උළු කම්හල වැසීයන තත්වයට පත්විය. වැසීගිය උළු කම්හලේ නිෂ්පාදන කටයුතු 1991 වර්ෂයේ නැවත ආරම්භ කළ අතර කෙටි කලකින් නැවතත් කම්හල අක්‍රීය තත්වයට පත්විය. 1996 වර්ෂයේ කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කෙරිණි. ඉන්පසු වරින්වර අක්‍රීය වෙමින් හා සක්‍රීය වෙමින් පැවති යටියන උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවේ කටයුතු මේ වනවිට නතර වී තිබේ. උළු කම්හලට අයත් ඉඩම්ද විවිධ පාර්ශ්ව විසින් අත්පත් කරගෙන ඇත.

මේ අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනඇමති සුනිල් හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් මල්ෂානි හෙට්ටිආරච්චි, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය එල්.එම් අබේවික්‍රමගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත අබේගුණසේකර ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් ඩී.එච්.යූ සඳමාලි ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්