වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට චීන ආයෝජකයන්ගේ අවධානය

වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට චීන ආයෝජකයන්ගේ අවධානය

මෙරට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ ඇමති වං වෙන්ටාඕ (Wang Wentao) ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සාකච්ඡා පැවැත්වීය.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපති ප්‍රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව මෙහිදී සඳහන් කළ චීන ආයෝජකයන් 100කට වැඩි පිරිසක් සමඟ සිදු කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බවද පැවසීය.

අභියෝගාත්මක සමයක දෙරටටම වාසි සහගත අයුරින් වෙළෙඳ සහ ආර්ථික අරමුණු ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කැප වී කටයුතු කරන බවද චීන වාණිජ ඇමති වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පසුගිය චීන සංචාරයේදී ඇති කරගත් එකඟතා ක්‍රියාවට නැංවීම චීන වාණිජ ඇමතිගේ මෙම සංචාරයේ අරමුණක් වන අතර චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් (Qi Zhenhong), ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වන්ග් ලිපිං (Wang Liping), විදෙස් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂූ ජුවේටින් (Shu Jueting) ඇතුළු පිරිස චීන දූත කණ්ඩායම වෙනුවෙන්ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්