රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය අගමැතිනිය අතින් ජනතා අයිතියට

රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය අගමැතිනිය අතින් ජනතා අයිතියට

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය හා යටියන්තොට ප්‍රාදේශීය කොට්ඨාසවල දිගුකාලයක් තිස්සේ නොවිසඳී පැවැති පානීය ජල ගැටලුවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක විසඳුම් ලබාදීම සැලකිල්ලට ගනිමින් ඇරැඹි රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර අද (29) අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

දිනකට ඝන මීටර 4,000ක ධාරිතාවයකින් යුතු ජල පිරිපහදුවක් සිදුවන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25.5ක මුදලක් වැය කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර එය 2028 වර්ෂයේ දී අවසන් වීමට නියමිතය.

අගමැති ආචාරිය හරිනි අමරසූරිය සහ කොරියානු තානාපතිනි මියොන් ලී විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව පළමු ජල සැපයුම් ලබාදීම වෙනුවෙන් වු ස්වයංක්‍රිය විවෘත කිරීම සිදු කරන ලදී.

අනතුරුව පැමිණ සිටි පිරිස ඇමතූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“අද සිට අප, රුවන්වැල්ල ප්‍රදේශයේ ජනතාවට බීමට අවශ්‍ය පිරිසිදු ජලය ලබා දෙන්න සුදානම්, මේ විවෘත වුණේ ඒ සඳහා වන ව්‍යාපෘතියයි.

මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් රජයක් හැටියට අති විශාල මුදලක් වියදම් කරනවා. ඒක රජයක් කළ යුතු දෙයක්. නමුත් මම කැමතියි ඔබගෙන් ඉල්ලීමක් කරන්න.

අද දින ඔබ වෙත ලබා දෙන මෙම ව්‍යාපෘතිය රැක ගන්න, ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. කියලා.

අපේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ජනතාවට සහ දරුවන්ට උරුම කර දීම, ඒ අනුව තමයි අපි වැඩකටයුතු කරගෙන යමින් ඉන්නේ.

මේ වගේ ව්‍යාපෘතියක් ඔබ අතට පත් කරනවා කියන්නෙත්, ඔබේ ජීවිතය පොහොසත් කරනවා, ලස්සන කරනවා කියන එකයි.

රුවන්වැල්ල කියන්නේ බස්නාහිර පළාතට ඉතා ආසන්න ප්‍රදේශයක් ඒ වාගේම සංචාරක කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් ඉතින් එවැනි ප්‍රදේශයකට මේ වගේ ජල ව්‍යාපෘතියක් ඉතාමත් අත්‍යවශ්‍ය බව අපි දන්නවා.

2019 වසරේ ආරම්භ කළත් පසුගිය කාලයේ දී රට මුහුණ දුන් ආර්ථික, සෞඛ්‍ය, දේශපාලන වැනි ගැටලු නිසා අවසන් කරන්න කල් ගියා. මෙම වසරේ දී එහි පළමු අදියර මේ වීදියට ජනතා අයිතියට පත් කිරීමට හැකි වීම පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් වෙත මාගේ ස්තුතිය පළ කරනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍යමය දායකත්වය සැපයූ කොරියානු EXIM බැංකුවටත් අපේ රජයේ ස්තූතිය පළ කරන්න කැමතියි.”

මෙහි දෙවන අදියර නුදුරේදීම ආරම්භ කිරීමට රජය විසින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය අනුර කරුණාතිලක, පරිසර ඇමති ධම්මික පටබැඳි, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු දීප්ති යූ සුමනසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද එක්වූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්