ශ්‍රී ලාංකීය සිනමාවට අපරිමිත මෙහෙයක් සිදු කළ රූපණවේදිනියක වූ මාලනී ෆොන්සේකාගේ අවමංගල සභාව අමතමින් මහාචාර්ය සෞම්‍ය ලියනගේ කළ අනුස්මරණ කතාව පවා පදනම් කර ගනිමින් ජනතාවට ද්‍රෝහී කණ්ඩායම් විවිධ ප්‍රචාර ගෙන යමින් සිටිති.
මහාචාර්ය සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ අද්විතීය මෙහෙය පිළිබඳ දේශනය ආරම්භ කළේ “මාලනී ෆොන්සේකා සිනමාවට ප්‍රවේශ වන්නේ ලාංකේය පශ්චාත් යටත් විජිත සමාජය ප්‍රොතෙස්තන්ත බුද්ධාගමත්, වික්ටෝරියානු ආචාර ධාර්මිකත්වයත් සමාජ සංසිද්ධියේ අඩිතාලම ලෙස පැවති මොහොතක ය.” යනුවෙනි.
මහාචාර්යවරයාගේ දේශනය තුළ එක් වැරදීමක් සිදු වූ අතර ඔහු කළ අනුස්මරණ දේශනය සම්බන්ධයෙන් ප්‍රහාර එල්ල කරන්නන් එම වැරදීම දැකීමට තරම්වත් මුහුකුරා ගිය පිරිසක් නොවන බව පැහැදිලි වී තිබේ. මධුසමය චිත්‍රපටය පරාක්‍රම නිරිඇල්ලගේ නිර්මාණයක් බව ඔහුගෙන් ප්‍රකාශ විය. එහෙත් එය කේ. ඒ. විජයරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් මෙරට සිනමාවට එක් වූ විශිෂ්ඨ කෘතියකි.










