කාශ්මීර ප්‍රහාරය: ඉන්දු – පාකිස්ථාන මතභේදය උණුසුම් කරයි…

කාශ්මීර ප්‍රහාරය: ඉන්දු – පාකිස්ථාන මතභේදය උණුසුම් කරයි…

ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහළගම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ, ඉන්දියාව හා පාකිස්ථානය අතර යළි උණුසුම් තත්වයක් මතුව තිබේ.

ඒ අනුව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කරන්නේ, ඉන්දියාව සෑම ත්‍රස්තවාදියෙකුම සහ ඔවුන්ට සහාය දක්වන්නන් හඳුනාගෙන, ලුහුබැඳ ගොස් දඬුවම් කරන බවත්, මෙම ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් සොයා පෘථිවියේ කෙලවර දක්වාම ලුහුබඳින බවයි.

මේ අතර පාකිස්ථාන ජාතිකයින්ට වීසා නිකුත් නොකිරීමටත්, දැනට ඉන්දියාවේ සිටින පාකිස්ථාන ජාතිකයින්ට ඉදිරි පැය 48ක් තුළ පිටව යන ලෙසත් ඉන්දියානු රජයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. පාකිස්තානය සමඟ ඇති ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීමට සහ ජලය බෙදා ගැනීමේ ඉන්දු ගිවිසුම අත්හිටුවීමටද ඉන්දියාව පියවර ගෙන ඇත.

ඉන්දියාව ගන්නා පියවරයන්ට එරෙහිව පාකිස්ථානයේ ජාතික ආරක්ෂක කමිටුව ප්‍රතිචාර දක්වා තිබෙන අතර ඉන්දියාව විසින් ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම ප්‍රතික්ෂේප කරන බවත් ජලය නැවැත්වීමට හෝ හරවා යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් “යුද ක්‍රියාවක් ලෙස සලකනු ලබන” බවත් මේ සම්බන්ධයෙන් පූර්ණ බලයෙන් ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් පාකිස්ථානය ප්‍රකාශ කර තිබේ.

එසේම ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලු ගුවන් යානාවලට සිය ගුවන් අවකාශ වසා දැමීමට පාකිස්ථාන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්