ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීමට රජයේ අවධානය

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීමට රජයේ අවධානය

පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම පිළිබඳවද රජයේ අවධානය යොමු කර ඇති අතර මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීම පිළිබඳවද රජයේ අවධාරණය යොමු කර ඇති බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් තෙවන වරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ යොමු කෙරුණු අවධානය මගිනි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත් එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීමටත් මෙහිදී සාකච්ඡා වී ඇත.

උත්සව සමයේදී අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට මෙවර අයවැය මගින් රුපියල් බිලියන එකක් වෙන් කර ඇති අතර එම ප්‍රතිපාදන නිසි පරිදි යෙදවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල උච්චාවචනය අවම මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

වී මිල දී ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති අතර, වී මිලදී ගැනීම සදහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිල දී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමටද සාකච්ඡා වී ඇත. ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය කර ඇත. එබැවින් රජය මෙවර වී මෙට්‍රික් ටොන් 250,000ක් මිලදී ගැනීමට අවශ්‍යව ඇති අතර, කුඩා වී මෝල් හිමියන්ද වී මිලදී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමු වී තිබේ. නැවත සහල් හිගයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ මීට එක්ව සිටි තිබේ.

Facebook
Twitter
LinkedIn