වසර 16කට පසු දළදා ප්‍රදර්ශනයක්

වසර 16කට පසු දළදා ප්‍රදර්ශනයක්

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ පිළිබඳ අද මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපති සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.

මල්වතු මහා විහාරය වෙතද ගිය ජනාධිපතිවරයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති වෙත ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව පාතාල කණ්ඩායම් අතර පවතින වෙඩි තබා ගැනීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බවයි. පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වුවත්, එය පොදු මහජනතාවගේ ආරක්ෂාවට ගැටලුවක් වී නැති බව සඳහන් කළ ජනාධිපති මෙතෙක් දේශපාලන රැකවරණය මත වර්ධනය වු පාතාලය මුළුමනින්ම මැඩ පැවැත්විමට වත්මන් රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීම රජයේද අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල්ද රජය වෙන් කර ඇති බවත් සඳහන් කළේය. මැතිවරණ කොමිසම විසින් ඒ සඳහා කඩිනමින් දින නියම කරනු ඇතැයිද ජනාධිපති විශ්වාසය පළ කළේය.

ඇමති සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජයමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn