ක්‍රිෂ් නඩුව : නාමල් රාජපක්ෂට අධි චෝදනා බාර දෙයි

ක්‍රිෂ් නඩුව : නාමල් රාජපක්ෂට අධි චෝදනා බාර දෙයි

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (18) අධි චෝදනා පත්‍ර බාර දී තිබේ.

අධි චෝදනා භාරදීමෙන් අනතරුව විත්තිකාර නාමල් රාජපක්ෂට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර ඇත.

විත්තිකාර නාමල් රාජපක්ෂගේ ඇඟිලි සලකුණු වාර්තාවක් කැඳවන ලෙසද විනිසුරුවරයා නියෝග කර තිබේ.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙන 21 දෙනාගෙන් පස් දෙනකු රිමාන්ඩ් භාරයේ පසුවන හෝ ඇප මත මුදා හැර සිටින හෝ දඬුවම් විඳින පුද්ගලයන් බව සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn