“ඇමරිකාව සහ අපගේ සමීප සගයා වන ඊශ්‍රායලයට එරෙහිව නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ගවල නියැලී සිටින” යැයි කියමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කල නියෝගයෙන් පසුව, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ICC නීතිපති කරීම් ඛාන්ට එරෙහිව සම්බාධක පනවා ඇතැයි වාර්තා වේ. මෙම ඇමරිකානු තීරණය හෙලා දකිමින් හේග් හි ජාත්‍යන්තර අධිකරණය, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් 79ක් නිවේදන නිකුත් කර ඇත.
2002 වසරේ පිහිටුවන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) පිහිටුවීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට රටවල් 124ක් අත්සන් තබා ඇති අතර මෙම අධිකරණය ඉදිරියේ විභාග වූ යුධ අපරාධ, ජනසංහාර, මානව වාදයට එරෙහිව සිදු කල අපරාධවලට සම්බන්ධ වූ චුදතයින්ට එරෙහිව නඩු විභාග පැවැත්වේ. ආර්ථික හා දේශපාලනික වශයෙන් දුර්වල රටවල නායකයින් පමණක් චෝදනාවට ලක් කරමින් නඩු අසන බවට මෙම අධිකරණයට බොහො අවස්ථාවලදී විවේචනයට ලක් වී ඇත. 2023 දී රුසියානු ජනාධිපති වල්ඩිමීර් පුටීන්ට එරෙහිව වරන්තුවක් නිකුත් කිරීම හේතුවෙන් රුසියාව විසින්ද කරීම් නීතිපතිට එරෙහිව දුටු තැන අල්ලන වරන්තුවක් නිකුත් කරන ලදී.
මෙම චෝදනා හමුවේ 2024 අගභාගයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මෙම අධිකරණය විසින් නිකුත් කරනු ලැබිණි. අපරාධ අධිකරණයේ නීතිපති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද වන කරීම් ඛාන් 2023 ඔක්තෝබර් 07 වන දින ඊශ්‍රායල භූමියට හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද පෙර නොවූ විරූ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ යුද්ධයේදී යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් දෙදෙනා සැක කිරීමට “සාධාරණ හේතු” ඇති බවට අධිකරණ ආයතනයේ විනිසුරුවන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
මෙම පැමිණිල්ල නිසා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් හට විදේශ සංචාර සීමා කිරීමට පවා සිදු වූණි. මෙම මස මුලදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගය මෙසේ සඳහන් වේ.
“ඇමරිකාවට සහ අපගේ සමීප සගයා වන ඊශ්‍රායලයට එරෙහිව නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ගවල නිරත වී ඇති” බවට ICC ය විසින් චෝදනා කරන අතර, ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු සොල්දාදුවන් විසින් සිදු කරන ලදැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ඔහු විසින් සිදුකර ඇත. එය ICC නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම එහි විමර්ශන කටයුතු සඳහා දායක වූ බවට සැලකෙන ඕනෑම අයෙකුට මින් පසුව එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරනු ලබනු ඇත. තවද එක්සත් ජනපදය තුළ ඔවුන්ගේ වත්කම් ද නැවත පවරා ගැනීමට නොහැකි වන ලෙස තහංචි පැනවීම සඳහා විධිවිධාන සපයා ඇත”. යයි ට්‍රම්ප්ගේ නියෝගයේ දැක්වේ.
කෙසේ වෙතත් එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණයේ සාමාජිකයන් නොවේ. ඔවුන් 2002 වසරේ පිහිටුවන ලද අධිකරණය සම්බන්ධ සම්මුතියට අත්සන් තබා නැත. ඊශ්‍රාල නායකයින්ට එරෙහිව නිකුත් කල වරන්තු සමග ICC අපරාධ අධිකරණයේ සාමාජිකයින් හට මරණ තර්ජන පවා එල්ල වී ඇත. ට්‍රම්ප්ගේ මෙම තහංචි නිසා අධිකරණය පවත්වා ගෙන යෑම සඳහා මුදල් ලබා ගැනීම හා සාක්ෂි එකතු කිරීම ද අඩාල වී ඇත. විශේෂයෙන් ජාත්‍යන්තර සංවිධාන හා මුල්‍ය සමාගම් ජාත්‍යන්තර අධිකරණ සඳහා මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, ICC හි එවකට නීතිපති වරයා වූ Fatou Bensoudaට එරෙහිවද එක්සත් ජනපද සම්බාධක පනවනු ලැබූ අතර 2021 දී බලයට පත් වූ වහාම ජෝ බයිඩන් විසින් එය ඉවත් කරන ලදී. ට්‍රම්ප්ගේ මෙම නව නිවේදනයට එරෙහිව ප්‍රංශය, මක්ෂිකෝව, එංගලන්තය, ජර්මනිය, දකුණු අප්‍රිකාව හා කැනඩාව ඇතුළු රටවල් 79ක් අධිකරණයේ නිදහසට බාධා පැමිණවීමට එරෙහිව පෙත්සමක් පවා අත්සන් කර තිබේ.
නමුත් එම සම්මුතියට අත්සන් කරනු ලැබූ අනෙකුත් රටවල් අතරින් 35%ක ප්‍රමාණයක් එයට සහය දක්වා නැත.










