තවත් හොර වාහනයක් අත්අඩංගුවට… හිටපු සජබ මන්ත්‍රී ගමෙනුත් පනියි…

තවත් හොර වාහනයක් අත්අඩංගුවට… හිටපු සජබ මන්ත්‍රී ගමෙනුත් පනියි…

පුත්තලම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර විසින් භාවිත කර ඇති නීතිවිරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ රථයක් කොටස් කර සඟවා තිබියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකය මඟින් අද (06) අලුයම සිය භාරයට ගෙන තිබේ.

මේ වනවිට හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි අනාවරණය වී ඇත.

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර විසින් නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කෘෘසර් ප්‍රාඩෝ රථයක් භාවිත කරන බවට නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකයට ලැබී තිබී තොරතුරක් මත දින ගණනාවක් විමර්ශන කර තිබේ.

ඉන් අනතුරුව අද අලුයම එම රථය සිය භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් පුත්තලමට ගොස් ඇත.

එහිදී අදාළ රථය පිළිබඳව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුරටත් සිදුකළ පරීක්ෂා කිරීමේදී එය කොටස් කර ස්ථාන දෙකක සඟවා තිබියදී සොයාගනු ලැබ තිබේ.

එලෙස එය සඟවා තිබී ඇත්තේ හිටපු මන්ත්‍රීට අයත් පුත්තලමේ පිහිටි පොල් ඉඩමක සහ ඔහුගේ නිවසට ආසන්න වූ වෙනත් නිවසකය.

ඒ අනුව එම නිවසේ සඟවා තිබී අදාළ චැසිය සහ බඳ කොටස සොයාගෙන ඇති අතර ඔහුගේ පොල්වත්තේ තිබී එන්ජිම ඇතුළු කොටස් කිහිපයක්ද සොයාගෙන ඇත.

විමර්ශන නිලධාරින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ රථය මේ වනවිටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් භාවිත කරන ප්‍රාඩෝ රථයක එංජින් අංකය හා චැසි අංකය භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවය.

හිටපු මන්ත්‍රී භාවිත කළ රථයට අදාළ අංක කොටා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

නීතිවිරෝධීව එකලස් කරන ලද වාහන පසුගිය දිනවල පොලිසිය සිය භාරයට ගැනීමත් සමග හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර හා ඔහුගේ පුත්‍රයා එක්ව මෙම රථය කොටස් කර සඟවා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඊයේ (05) දිනයේදී විමර්ශන නිලධාරීන් උත්සහා කර ඇතත් ඔහු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටීම හේතුවෙන් එය ව්‍යාර්ථ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn