අපේ යෞවන සමයේදී ආදරයේ විරහව ගැන ගැයූ ගීතවල බොහෝ අයිතිකාරීත්වය ලබාගෙන සිටියේ මිල්ටන් මල්ලවාරච්චිය.
ගීත තැටි සහ ඉන් අනතුරුව කරලියට පැමිනි ගීත කැසට් පට හරහා මෙන්ම එළිමහන් සංගීත සංදර්ශන වලදී ඔහු දැඩි ඒකාධිකාරීත්වයක් ගොඩනඟා ගෙන තිබිණි. ප්‍රියා සූරියසේන නමැති මගේ මේ සටහනේ කතා නායක ගායකයා අපට හමුවෙන්නේ මෙම කාලවකවානුවේදීමය. මිල්ටන් මල්ලවරච්චිගේ කටහඬේ සහ ගායන විලාසය තිබූ ප්‍රේමණීය හඬ නොවුනත් ප්‍රියා සූරියසේන ඒ දවසේ අපට අවශ්‍යව තිබූ වෙනත් ආකාරයක ගීතාවලියක් අපට හඳුන්වා දුන්නේය.
මීල්ටන් මල්ලවාරච්චි ගායනා කළ බොහෝ ගීතවල තනු නිර්මාණය කළ ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් ප්‍රියා සූරියසේන වෙනුවෙන් තනුව සහ සංගීතය නිර්මාණය කරන “රටකින් එයා ඉගිලී තනිවෙන්න බැහැ” ගීතයේ කළ එළි දැක්ම මේ අලුත් ගීතාවලියේ හැරවුම් ලක්ෂය විය.
මිල්ටන් මල්ලවාරච්චි “එදා රෑ ගුවන් තොටුපළේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ” කොයිතරම් ජනප්‍රිය වූවාද ඊට නොදෙවෙනි ආකාරයට ප්‍රියා සූරියසේන ගැයූ “රටකින් එහා…” ගීතය ජනප්‍රිය විය.
ගීත රසවින්දනය කිරීමේදී එම ගීතය ගයන ගායකයා හෝ ගායිකාව ලගු කර නොගන්නා සිරිතක් මට ඇත. එබැවින් මට කිසිවිටක ප්‍රියතම ගායකයකු හෝ ගායිකාවක් නැත.
මුලින් මා ප්‍රියා සූරියසේනගේ කටහඬට එතරම් ඇලුම් නො කළේ සාමාන්‍යයෙන් ගායකයකු සතු විය යුතු ගොරහැඬි බව ඔහුගේ කටහඬේ නොතිබුණු නිසාවිය යුතුය. එහෙත් ඔහු විසින් ගායනා කරන ලද ගීතවල තිබූ අතිශයින්ම සුවිශේෂී බව නිසා ඔහුගේ බොහෝ ගීත මගේ ප්‍රියතම ගීත බවට පත්වන්නට විය.
ඔහුගේ ගීත පිළිබඳ කරන ලද සංවාද කීපයේදිකදීම මට අසන්නට ලැබුණේ ඉන්දීය රාගධාරී සංගීතයේ එන බොහෝ රාග ඔහු තමාගේ නිර්මාණ සඳහා යොදාගත් බවය.
“මට වාසනා ඔබ මට වාසනා” සහ “අඳුර අඳුර මගේ, සොඳුරු සොඳුර මගේ” එවැනි රාග ඇසුරු කරගෙන නිර්මාණ වූ ගීත දෙකක් වන අතර එවැනි ගීත රාශියක් ඔහුගේ ගීත නාමාවලියේ ඇත.
ප්‍රවීණ ගේය පද රචකයන් විසින් ලියා දෙනු ලැබූ රචනා බොහොමයකට සුමට තනු නිර්මාණය කරන්නට ප්‍රියා සූරියසේනට ගීතනු නිර්මාණය කර දුන් සංගීතවේදීන්ට හැකි විය. එහෙත් ඔවුන් නිර්මාණය කර දුන් තනුව පරයා යන තමන්ගේම වූ අනන්‍යතාවයක් ප්‍රියා සූරියසේන තම නිර්මාණ තුළින් අප වෙත ඉදිරිපත් කළේය.
ඔහු ගායනා කළ සෑම ගීතයක්ම එක සමාන ලෙස ජනප්‍රියත්වයට පත් වූයේ ඒ නිසා විය යුතුය.
“ආදරණීය නේරංජනා”, “ඈත රන් විමන් තුළින්”, “ආපසු එනවා මගේ සිත ඉබි ගමනේ”, “මේ පාළු මාවතේ”, “ප්‍රණීත මී පැණි ගෙන ආවත්” ඒ සුන්දර ගීත සමූහයෙන් බිඳකි.
ප්‍රියා සූරියසේනට තම ගීත තුළ මේ සුවිශේෂී බව පවත්වාගෙන යාමට හැකි වන්නේ සංගීතය පිළිබඳ ඔහු තුළ තිබූ හසල දැනුම සහ අත්දැකීමයි.
ඔහු අපගේ යෞවන කාලය පමණක් නොව වර්තමානයත් ප්‍රේමාන්විතව ගත කරන්නට නිර්මාණ බිහිකළ ගායකයෙකි.
“හදවත ඉල්ලා නොලැබුණු විටදී…” තවමත් අප මුණන්නේ එනිසාමය.
අරුණ ශාන්ත නෝනිස්
2024.12.25










