හාල් පොල් ගැන හෙළි නොකළ කතාව මෙන්න…

හාල් පොල් ගැන හෙළි නොකළ කතාව මෙන්න…

මෙරට උත්සව සමයේදී පොල් සහ සහල් මිල ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවන අතර එයට වඩා බරපතල කරුණු කෙරෙහි මූලික අවධානයක් යොමු කර තිබේ.

ඊයේ (06) දිනමිණ පුවත්පත මේ සම්බන්ධයෙන් පල කර තිබූ ලිපියක් සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ.

එලොව පොල් මෙලොව පෙන්වන පොල් මිල

ජාතික ආර්ථිකයට ඍජුව ම අදාළ වන සංචාරක ව්‍යාපාරය කෙරෙහි ඇති වූ අභියෝගය ඒ ආකාරයෙන් ය. ජනතාවගේ එදිනෙදා ආහාර වේල සරිකර ගැනීමේ දී එලොව පොල් පෙනෙන තරමට පොල් මිල ඉහළ යමින් තිබෙන්නේ ය. මෙරට වෙළෙඳපොළේ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන කෙරෙහි පවතින පොදු තත්ත්වයක් වන්නේ නිතර නිතර විශාල පරාසයකින් මිල ඉහළ, පහළ යෑම් සිදුවීම ය. එළවළු, සහල් සහ පොල් කෙරෙහි මෙම තත්ත්වය විශේෂයෙන් අදාළ ය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී පොල් මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන පවා නිකුත් කරනු ලැබී ය. පොල් ගෙඩියේ වට ප්‍රමාණය අඟල්වලින් මැන මිල නියම කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දෙනු ලැබී ය.

පොල් මිල පාලනය සඳහා නිකුත් කළ ගැසට් නිවේදන රිවර්ස් කර ගැනීමට සිදු වූ අතර, මිල තීරණය කිරීමට වට අඟල් ප්‍රමාණයක් නියම කිරීම දැඩි හාස්‍යයටත් හේතු විය. 2022 මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි කර තිබෙන කරුණු අතිශය වැදගත් ය. එම කරුණුවලින් පැහැදිලි වන්නේ මිල පාලන ගැසට් ගැසීමට පෙර බොහෝ දේ කළ යුතුව තිබෙන බව ය. “2022 වසරේ දී ප්‍රමාද වී පොහොර යෙදීම සහ ප්‍රමාණවත් ලෙස රසායනික පොහොර නොයෙදීමේ පසු බලපෑම නුදුරු අනාගතයේ දී පොල් අස්වැන්න කෙරෙහි බලපෑම් ඇති කළ හැකි ය.” මේ බව සඳහන් කර තිබෙන්නේ එම 2022 වාර්තාවේ 78 වැනි පිටුවේ ය. වසර දෙකක් පමණ පැරණි වාර්තාවක් උපුටා දැක්වීම පිළිබඳව කෙනකු ප්‍රශ්න කළ හැකි ය. එයට හේතුවක් තිබෙන්නේ ය. 2023 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර නැත. මහ බැංකු සංශෝධිත පනත අනුව නීතියෙන් බේරීමට වාර්තාවක් එළිදැක්වූවා පමණ ය.

එය එසේ වන අතර, පොල් පොහොර ඇතුළු සියලුම කෘෂිකාර්මික යෙදවුම්වල මිල ඉහළ ය; වගාකරුවන්ට දරාගත නොහැකි ය. ඒ හේතුවෙන් පොහොර භාවිතය විද්‍යාත්මක අවශ්‍යතාවට අනුව සිදු නොකරන බව තහවුරු වී තිබේ. අනෙක් පැත්තෙන් නියමිත ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා ගැනීමට නොමැති බව ද නොයෙක් වර හෙළි වී තිබේ. මේ සියල්ල අතරේ 2022 වර්ෂය අග භාගය වන විට පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 100.00ක් වී තිබූ බවත්, වෙන්දේසියේ දී තොග මිල රුපියල් 60.14ක් වූ සාමාන්‍යයක පැවති බවත් හෙළි කර තිබේ. අනෙකුත් කෘෂි භෝග මෙන් පොල්වල පසු අස්වනු නාස්තියක් නොමැති ය. එසේ නම්, තොග වෙළෙන්දාගේ සිට සිල්ලර වෙළෙන්දා දක්වා එන විට අතරමැදියන් රුපියල් 40කට ආසන්න අසාධාරණ ලාභයක් තබා ගන්නා බව පැහැදිලි වේ.

තවත් පැත්තකින් හෙළි වී තිබෙන තොරතුරු අතිශය වැදගත් ය. මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය පද්මකාන්ත වඳුරාගල කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පොල් සම්බන්ධයෙන් සිදු කළ සමීක්‍ෂණයක තොරතුරු හෙළි කර ඇත. පසුගිය වසර දහයක් තුළ එම දිස්ත්‍රික්කයේ පොල් ගස් 3,52,000ක් කපා ඇති බව ය. එමෙන්ම පොල් ඉඩම් අක්කර 4,072ක් කට්ටි කර විකුණා ඇති බවත්, වසර දහයකට පෙර තිබූ පොල් වගාව අක්කර තුන්ලක්‍ෂය මේ වන විට අක්කර අනූතුන්දහසක් දක්වා විනාශ කර ඇති බවත් ය. තවත් පැත්තකින් දඬුලේනුන්, රිළවුන් පොල් පලදාව මිලියන ගණනින් විනාශ කිරීමේ ක්‍රියාවලියක් පවතින්නේ ය. ඉතිහාසයේ කිසිදු කලක නොතිබුණු ලෙස මේ විනාශය අතිශය ඉහළ මට්ටමක් කරා යමින් පවතී. කිසිවකු හෝ ආණ්ඩුවට විරුද්ධව පොල් ගැසීමට පෙර මෙන්න මේ සමස්ත පසුබිම අධ්‍යයනය කිරීම වඩාත් වැඩදායක වන්නේ ය. ඒ අතර ආණ්ඩුවට පැවරී තිබෙන මූලිකම වගකීම වන්නේ රෝග නිධානය හඳුනාගෙන එය ඉවත් කර ජනතාවට එලොව පොල් පෙනීමෙන් වළක්වා ගැනීමට ක්‍රියා කිරීම ය. මේ වෙනුවෙන් මූලික වශයෙන් වසර දෙකක හෝ තුනක ඉවසීමක් ජනතාවට තිබීම අවශ්‍ය ය.

දෙවියන්ගේ හාල්

පොල් මිලට සමාන්තරව සහල් මිල පිළිබඳ සාකච්ඡාව ද මූලික වී තිබෙන්නේ ය. ඒ පිළිබඳ වාර්තා විමසා බැලීමෙන් මූලික අදහසක් ලබා ගැනීම වඩාත් වැදගත් ය. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා ඉදිරිපත් කරන ‘සතිපතා ආර්ථික දර්ශක’ සහ ‘මාසික ආර්ථික දර්ශක’ නම් නිල වාර්තා විමසා බැලීම යෝග්‍ය ය. මාසික ආර්ථික දර්ශක පිළිබඳ වාර්තාව කෙරෙහි අවධානය යොමු කිරීමේ දී 2022 නොවැම්බර් මාසයේ සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල පිටකොටුවේ රුපියල් 228.33 සිට 2023 නොවැම්බර් වන විට රුපියල් 293.13ක් දක්වා වැඩිවී තිබූ බව හෙළි වේ. එම වසර දෙකේ දී ම නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 220.00ක් වී තිබිණි. 2022 නොවැම්බර් මාසයේ දී රතුකැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 220ක් වී තිබී 2023දී එය රුපියල් 206.36ක් දක්වා පහත වැටී තිබේ. ඒ 2022 සහ 2023 වසරවල නොවැම්බර් මාසයේ පැවති තත්ත්වය ය.

එය දෙසැම්බර් මාසය වන විට වෙනස් වී තිබූ ආකාරය මෙසේ ය: 2022 වර්ෂයේ දෙසැම්බර් මස දී සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් 221.50 සිට 2023 දෙසැම්බර් වන විට රුපියල් 247.69ක් දක්වා වැඩි වී තිබිණි. 2022 වසරේ දෙසැම්බරයේ දී නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 216.50 සිට 2023 දෙසැම්බර් වන විට රුපියල් 206.32ක් දක්වා පහත වැටී තිබිණි. ගෙවී යන 2024 වර්ෂය වෙනුවෙන් මහ බැංකුව අවසන් සතිපතා වාර්තාව නිකුත් කර තිබුණේ, ඔක්තෝබර් 18 වැනිදා ය. එයින් හෙළි වන්නේ 2023 ඔක්තෝබර් වන විට සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240.00ක් වූ අතර, මෙම වසරේ ඔක්තෝබරයේ දී එය රුපියල් 245.00ක් වූ බව ය. එසේම රතුකැකුළු 2023 ඔක්තෝබරයේ දී කිලෝග්‍රෑමය රුපියල් 199.00 සිට මෙම වසරේ ඔක්තෝබර් වන විට රුපියල් 210.00ක් වී තිබූ බව ය.

අවබෝධයෙන් කටයුතු කිරීම

සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ජනාධිපති, අනුර කුමාර දිසානායක මුලින් ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡා කළේ ය. රජය සහ සහල් ව්‍යාපාරිකයන් අතර අවබෝධයෙන් කටයුතු කිරීම රජයේ මූලික අරමුණ බව පැහැදිලි කළේ ය. නීතිය මඟින් ක්‍රියා කිරීමට වඩා එය හොඳම ක්‍රියාමාර්ගය බව දැක්වී ය. ඉන් පසුව ක්‍රමානුකූලව පාරිභෝගික සේවා අධිකාරිය සමඟ ද අවසන් වශයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ ද සාකච්ඡා කළේ ය. ඒ අතර ආරම්භක පියවර ගත්තේ මෙම මාස් කන්නයේ දී වී ගොවීන් සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 25,000.00ක් වන පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරමින් ය. සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර මෙරට පරිභෝජනය සඳහා සහල් ඇටයක්වත් ආනයනය නොකිරීම අරමුණ බව ද විවෘතවත්, පැහැදිලිවත් ප්‍රකාශ කර තිබෙන්නේ ය.

මෙය පටු දේශපාලන අරමුණක් නොවේ ය. රට ගොඩනැඟීමේ ජාතික අරමුණ සමඟ බැඳී යන ඉලක්කයක් ය. ඉලක්කය නම්, සහලින් රට ස්වයංපෝෂිත කිරීම ය. මෙයට පෙර ද වර්ෂ ගණනාවක දී ද මෙරට සහල් අවශ්‍යතාව දේශීය වශයෙන් නිෂ්පාදනය කර තිබිණි. 2020 වසර හොඳම නිදර්ශනයයි. මහ බැංකු වාර්තා අනුව එම වසරේ දී නිෂ්පාදනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් ලක්‍ෂ 33ක් ය. එම ප්‍රමාණය මාස 17කට ප්‍රමාණවත් බව මහ බැංකුව දක්වා තිබේ. තත්ත්වය එසේ වුවත්, මුළු සහල් වෙළෙඳපොළ ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ගිලගෙන ඇති ආකාරය ද හෙළි කර තිබෙන්නේ ය.

“මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිපදෙනකු සතුව විශාල වෙළෙඳපොළ බලයක් පැවතීම හේතුවෙන් සහල් සිල්ලර මිල ගණන් රජය විසින් පනවන ලද උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මට්ටමක පැවතිණි.” පවතින්නේ මෙම අහිතකර පසුබිම ය. මහා පරිමාණ වී මෝල් හිමියෝ මෙරට සහල්වල ගුණාත්මක වැඩිදියුණු කිරීම් සඳහා විශාල දායකත්වයක් දැක්වූහ. නිදර්ශනයක් වශයෙන් ගල්, වැලි ආදියෙන් තොර සහල් නිෂ්පාදනය කෙරෙන්නේ මේ නිසා ය. එය එසේ වන අතර, වෙළෙඳපොළ ඒකාධිකාරි බලය රටටත්, ජනතාවටත් අහිතකර ආකාරයෙන් යෙදවීම කිසිවකුත් අනුමත නොකරන දෙයක් ය. වී අස්වැන්න නෙළන කාලයට කුණුකොල්ලයට ඒවා මිල දීගෙන ගබඩා කර තබා ගනිමින්, හිතු හිතූ ආකාරයට සහල් මිල කොල්ලයක් පවත්වාගෙන යෑම අතීතයට පවරා දිය යුතු තත්ත්වයක් ය. උත්සව සමයක් එළැඹෙන විට සහල් මිල කෘත්‍රිමව ඉහළ දමා අමතර විශාල ලාභයක් මහා පරිමාණ මෝල් හිමියෝ අත්කර ගනිති. අස්වනු නෙළන කාලයට අඩු ම මිලට ලබා ගන්නා වී මඟින් අමතර විශාල ලාභයක් අත්කර ගනිති. එම වී සහල් බවට පත් කර මෙලෙස ඉහළ ම මිලක් හිතූමනාපයේ නියම කිරීමෙන් තවත් විශාල මුදලක් පාරිභෝගිකයන්ගෙන් අයුතු ලෙස ලබා ගනිති.

මේ ක්‍රියාවලිය අතීතයට හිමි කර දීම අවබෝධයෙන් කළ යුතු ය. ව්‍යාපාරිකයාත්, වී ගොවියාත්, සහල් පාරිභෝගිකයාත් අතර සහජීවනයක් ගොඩනැඟෙන්නේ ඒ මඟින් ය. ‘එලොව පොල් පෙන්වන සහල් මිල සහ පොල් මිල’ සම්බන්ධ හොඳ අවබෝධයක් ජනතාවට තිබීම වැදගත් ය. ඉවසීමෙන් යුතුව පවතින තත්ත්වය වඩාත් සාධනීය ලෙස වෙනස් කර ගැනීම ආණ්ඩුවේ පමණක් කටයුත්තක් නොවේ.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර”

Facebook
Twitter
LinkedIn