ගෙවී ගිය කාලය පුරා ආර්ථික වශයෙන් අන්ත ප්‍රපාතයට ඇද දමා සිටින ජනතාව රැක බලා ගනිමින් නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගන්නා බව අද (03) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරනු ලැබීය.
මේ වනවිටත් ලැබෙන අස්වැසුම සහනාධාරය ලබන දෙසැම්බර් 31 සහ 2025 මාර්තු 31 දින අවසන්වීමට නියමිතව පවුල් ලක්ෂ 8ක් වෙනුවෙන් එම ආධාරය දීර්ඝ කරන බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ඊයේ (02) කැබිනට් අනුමැතිය ලබා ගත් බව පැවසූ අතර එම සහනාධාර ලබාදීම පිළිබඳව සවිස්තර තොරතුරු පහත දැක්වේ.
1. දෙසැම්බර් 31 වෙනි දින අවසන්වීමට නියමිතව තිබූ සංක්‍රාන්තික කාලයට යටත් පවුල් ලක්ෂ 4කගේ අස්වැසුම මාර්තු 31 දක්වා දීර්ඝ කිරීම.
2. අවදානමට ලක්ව තිබෙන කාණ්ඩයේ පවුල් ලක්ෂ 4ක් සඳහා අස්වැසුම ප්රතිලාභ ලබන වර්ෂය පුරාම ක්‍රියාත්මක කිරීම.
3. දුප්පත් කාණ්ඩයට අයත් පවුල් ලක්ෂ 8ක් සඳහා මාසිකව ලබා දෙන රුපියල් 8,500 දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩිකර ක්‍රියාත්මක කිරීම.
4. අන්ත දිළිඳු පවුල් ලක්ෂ 4කට ලබා දෙන රුපියල් 15,000ක මාසික දීමනාව රුපියල් 17,500ක් දක්වා ඉහළ දැමීම.
5. වැඩිහිටි, වකුගඩු රෝගී, ආබාධිත පුරවැසියන් සඳහා මාසිකව ලබා දෙන දීමනාව ලබන අයවැයෙන් ඉහළ දැමීම.
6. අස්වැසුම ප්රතිලාභ ලබන පවුල්වල පාසල් දරුවන් සඳහා පොත්පත් ඇතුලු අධ්‍යාපන උපකරණ මිල දී ගැනීමට රුපියල් 6,000ක් ලබාදීම.
7. අස්වැසුම ප්රතිලාභ අහිමි ළමා නිවාසවල දරුවන්, දෙමාපියන් අහිමි දරුවන් සහ ආබාධිත දරුවන් සඳහා පාසල් උපකරණ ලබා ගැනීමට රුපියල් 6,000ක දීමනාවක් ලබා දීම.










