මාතර නිල්වලා ගඟේ ඉදිකර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් හා අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08)ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
එහිදී, ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්වයක් මෙන්ම ගොවි බිම්වලට ලවන ජලය පැමිණීම සිදුවන්නේද යන්නත්, ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීම විධිමත් අධ්‍යනයකින් අනතුරුව සිදු කළ යුතු බවටත් එම ආයතන නියෝජනය කරමින් පැමිණි ඉංජිනේරුවරුන් විසින් තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබා ගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම් මෙහිදී සිය එකඟතාව ලබා දී ඇත.
එසේම මේ සඳහා යෝජනාවලියක් සකස් කරන ලෙස උපදෙස් දී ඇති ආචාර්ය නන්දික සනත් කුමානායක, පේරාදෙණිය විශ්විවද්‍යාලයීය ඉංජිනේරු අංශය සිදුකරන අධ්‍යයනයේ වාර්තාව පදනම් කරගෙන මේ සඳහා විසඳුම් ලබා දෙන ලෙසත් එම කාර්යය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක කරන ලෙසත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබා දී ඇත.
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග හා ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් ජනාධිපති ලේකම් අවධාරණය කර තිබේ.
ලවණ බාධකය හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට සිය ගොවිබිම් අහිමි වීම ඇතුළු ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන් කර ඇති ජනාධිපති ලේකම්, එම තත්වය කඩිනමින් යථා තත්වයට පත් කිරීම රජයේ හා නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කර ඇත. එමෙන්ම, මාතර ප්‍රදේශයේ ගංවතුර ගැටළුව විසඳා දෙන ලෙසටද නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.














