අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවක් කැඳවා තිබිණි.
අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්‍ෂණය භාවිතයේ වැදගත්කම අගමැති මෙහිදී අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය නංවාලීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාවන්හි පවතින ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනයක නිරත වූ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.
නව රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නය සහ රාජ්‍ය අංශයට නවීන තාක්ෂණය මුසු කිරීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමේ ඇති හැකියාව සහ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා වන වත්මන් අභියෝග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම්වරුන් වන ඒ.කේ.ආර් අලවත්ත, එච්.ඩබ්ලිව්.කේ අතාවුදගේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී කණිෂ්ක කරුණාසේන, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී සේනාරත්න, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරුණ ශ්‍රී ධනපාල ඇතුළු නියෝජිතයින් සහභාගී වූ බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.













