ජාතික සමඟිය ඇති කළ හැකි එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණක් යැයි ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් අපේක්ෂක යාන්ත්රික ඉංජිනේරු සිහදූර් රහුමාන් අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (27) බද්දේගමදී පැවති ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ මහජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් අපේක්ෂක යාන්ත්රික ඉංජිනේරු සිහදූර් රහුමාන්,
“දියුණුව කරා යා හැකි වන්නේ, ශ්රී ලාංකික ජාතියක් විදියට අපි හැමෝම කල්පනා කරලා කටයුතු කරන්න පුළුවන් නම් පමණයි. ඒ බව නිවැරැදිව තේරුම් ගැනීම නිසා ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික්කයෙන් දෙමළ භාෂාව හසුරුවන අපේක්ෂකයෙක් විදියට මාව තෝරාගෙන තිබෙනවා. වතු ජනතාවගේ විතරක් නොවෙයි, රටේ ජීවත් වන අනෙක් හැමෝගේම මහන්සියෙන් ලබා ගන්නා බදුවලින් ඔවුන් මෙපමණ කල් සුඛෝපභෝගී ජීවිත ගත කළා. නමුත්, ඉදිරියේදී එවැන්නක් සිදු නොවන බව අපි හැමෝම දන්නවා. ජාතික ජන බලවේගයේ පාලනයක් කියන්නේ වචනයෙන් කියනවාට වඩා අපේ හිතෙන් අපි හැමෝම මේ රටට ආදරය කරන පිරිසක්. අපේ ගෙදරින් පිට පොදු ස්ථානයකට ගියොත්, අපි එකිනෙකා ශ්රී ලාංකිකයන් වශයෙන් පිළිගැනීමකට ලක් වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම එක් වී ජනතාව දැනුවත් කරමු.
ජාතික ජන බලවේගය ජයග්රහණය කරනවා වාගේම ශ්රී ලාංකිකයන් වශයෙන් කල්පනා කරන අයගෙනුත් මේ පාර්ලිමේන්තුව පුරවමු. මින් ඉදිරියට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න යාපනයෙන් විතරක් නායකයන් ඕනෑ නැහැ. මුස්ලිම් අය ගැන කතා කරන්න නැඟෙනහිරෙන් නායකයන් ඕනෑ නැහැ. අපි ශ්රී ලාංකිකයන් විදියට ඉදිරියට යන්න අධිෂ්ඨාන කර ගනිමු. මෙපමණ කල් අපව භේදභින්න කර තබා ගැනීම පිළිබඳව හොඳින් තේරුම් අරගෙන ඉන්නවා. ජාතික සමඟිය ඇති කළ හැකි එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ශක්තිමත් බලයක් ලබා දී ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන්න අපි හැමෝගෙම සිහිනයක් විතරක් නොවෙයි, යථාර්ථයක් බව පැහැදිලිව සනාථ කරමු.”











