ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය, සංචාරක කර්මාන්තය ප්රවර්ධනය සහ ආයෝජන සඳහා සහාය ලබා දෙන බවට නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) ජනාධිපති අනුර කුමාර දිසානායකට සහතික වී තිබේ.
ඒ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) අතර සිදු වූ හමුවේදීය.
පසුගිය ජනාධිපතිවරණ ජයග්රහණය වෙනුවෙන් මෙහිදී ජනාධිපති වෙත සුබපැතුම් පළ කර ඇති නවසීලන්ත මහකොමසාරිස් ශ්රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා රට තුළ ශක්තිමත් ආර්ථිකයක් සහ වඩාත් ඵලදායී පාලනයක් ගොඩනැගීමට නවසීලන්තයේ අඛණ්ඩ සහාය නව ජනාධිපති වෙත ලබා දෙන බවටද සහතික වී ඇත.
දැනට වාර්ෂිකව නවසීලන්ත සංචාරකයන් 7,500ක් පමණ ශ්රී ලංකාවට පැමිණෙන අතර එම සංඛ්යාව 50,000දක්වා ඉහළ නැංවීමට ශ්රී ලංකාවට සිය සහාය ලබා දෙන බවද නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් සඳහන් කර තිබේ.
ශ්රී ලංකාව තුළ නවසීලන්ත ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත. ශ්රී ලංකාවේ දියර කිරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා උසස් ප්රමිතියෙන් යුත් තාක්ෂණය, පුහුණුව සහ සම්පත් පිළිබඳ නවසීලන්තයේ විශේෂඥ දැනුම ශ්රී ලංකාවට ලබා දීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.
ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රයෙහි, විශේෂයෙන්ම වෘත්තීය අධ්යාපන ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් නවසීලන්තයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ක්රීඩා ක්ෂේත්රය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සහ ක්රීඩාවෙහි පරිපාලන භාවිතයන් වැඩි දියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ මෙන්ම මෙරට ජනතාවගේද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී මහ කොමසාරිස් දැනුවත් කර ඇත.
වර්තමාන සංචාරක උපදේශන යාවත්කාලීන කිරීම පිළිබඳවද අදහස් දැක්වා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, ප්රධාන සංචාරක කලාපයන් තුළ ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා නීතිය බලාත්මක කිරීම සහ හදිසි සේවා ශක්තිමත් කිරිම සඳහා අනුගමනය කෙරෙන ආරක්ෂක ප්රොටෝකෝලයන් පිළිබඳවද මෙහිදී සඳහන් කර තිබේ.
නවසීලන්තයේ නියෝජ්ය මහ කොමසාරිස් ගේබ්රියෙල් අයිසාක් (Gabrielle Isaak) ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරයි.












