ත්රිකුණාමලය දිස්ත්රික්කයේ වෙනත් පක්ෂවලින් අපිට අභියෝගයක් නැතැයි ජාතික ජන බලවේගයේ ත්රිකුණාමලය දිස්ත්රික් අපේක්ෂක, ඉන්දික පරණවිතාන සඳහන් කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (23) පැවති “රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ ත්රිකුණාමලය දිස්ත්රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ ත්රිකුණාමලය දිස්ත්රික් අපේක්ෂක, ඉන්දික පරණවිතාන,
“‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ජාතික වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට ජනාධිපතිවරණයේදී ජනතාව මූලික අඩිතාලම තබා තිබෙනවා. එළැඹෙන මහ මැතිවරණයේදී අපේ දිස්ත්රික්කය නියෝජනය කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවා ජයග්රහණය කරවීමේ උපරිම ශක්තියෙන් කටයුතු කිරීමේ වගකීම අපට තිබෙනවා. ධීවර කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය අපේ දිස්ත්රික්කයේ මූලික ආර්ථික පදනම වුවත්, එය දෙපයින් සිටුවීමේ වගකීම අප විසින් ඉටුකළ යුතුයි.
ඒ වාගේම කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත පණගැන්වීම අපගේ මූලික අරමුණක්වී තිබෙනවා. මේ දක්වා සිටියේ කර්මාන්තයක් ගොඩ ගැනීම තබා යල, මහ දෙකවත් හඳුනන්නේ නැති පාලකයන්. 1948 පාලන බලය ලබාගත් කළුසුද්දන් ආසියාවේ තිබෙන විශාලතම ස්වාභාවික වරාය වන ත්රිකුණාමලය වරාය නිසි ආකාරයෙන් ප්රයෝජනයට ගැනීම තබා තිබුණු තත්වයෙනුත් බංකොළොත් කිරීමයි සිදු කර තිබෙන්නේ. තමන්ගේ සාක්කුවට ලබා ගන්නා ලාභය වෙනුවෙන් සියල්ල විනාශයට හැරියා. නමුත්, වරායෙන් වාගේම ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟෙන් නිසි ප්රයෝජන ගැනීම කෘෂිකර්මාන්තයේදී මෙන්ම සංචාරක කර්මාන්තයේදී ද යොදා ගැනීමේ වැඩපිළිවෙළක් අපට තිබෙනවා. මෙම මැතිවරණයේ දී ත්රිකුණාමලය දිස්ත්රික්කය තුළත් ජාතික ජන බලවේගයට අභියෝගයක් තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළින්ම පමණයි. ඒ හැර වෙනත් පක්ෂවලින් අපට අභියෝගයක් ත්රිකුණාමලය දිස්ත්රික්කයෙන් නැහැ.”













