පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.
අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දී ඇත.
විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්වයක් වළක්වා ගැනීම සහ එවැනි තත්වයන්වලට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.
පසුගිය දා ඇති වූ අධික වැසි හේතුවෙන් පළාත් කිහිපයක සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇති විය. ඉන් පවුල් දහස් ගණනක් අවතැන් වූ අතර යටිතල පහසුකම් සහ කෘෂිකර්මාන්තයට අදාළව විශාල හානියක් සිදුව ඇති බව වාර්තාවලින් අනාවරණය වී තිබේ.










