ජයිකි ද අල්විස් වාර්තාව අපි පිළිගන්නේ නැහැ – කාදිනල් හිමියෝ

ජයිකි ද අල්විස් වාර්තාව අපි පිළිගන්නේ නැහැ – කාදිනල් හිමියෝ

මේ වනවිට කතාබහකට ලක් කරමින් තිබෙන ජයිකි ද අල්විස් වාර්තාව පිළි නොගන්නා බව් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සඳහන් කරති.

ඒ හිමියෝ මේ බව සඳහන් කරමින් අද විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වූ අතර එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල දුන් පිළිතුරු පහතින් දැක්වෙන අතර නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ,

ප්‍රශ්නය – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ විමර්ශනය හරි හැටි කරයි කියන විශ්වාසය ඔබ වහන්සේලාට තියෙනවද?

පිළිතුර – අපි මේ සම්බන්ධව කතා බහ කරන්නේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් සමග නෙවෙයි. අපේ මේ පිළිඳ ඉල්ලීම අපි යොමු කරලා තියෙන්නේ මේ රටේ ජනාධිපති තුමාට. එතුමාට මේක අපි පැහැදිලිවම සඳහන් කළා. එතුමා අපිට පොරොන්දු වුනා මේ සම්බන්ධව නිදහස් ස්වාධීනව විමර්ශනයක් ආරම්භ කරනවා කියලා. ඉතිං එතුමා පත් කරපු අයට කෙලිම් යම් යම් දේවල් සඳහන් කරන්න අපිට අයිතියක් නැහැ. ඒක සිදුවෙන්නට ඕනා රජයේ අදාළ ඇමති තුමන්ලා සහ ඒ අදාළ පුද්ගලයන් තුළින්. ඒක අපිට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි.

ප්‍රශ්නය – විමර්ශන සම්බන්ධයෙන් ඔබවහන්සේලා සෑහීමකට පත් වෙනවද මේ සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන්?

පිළිතුර – අපිට මේ සම්බන්ධයෙන් තවම නිල වශයෙන් කිසිම දෙයක් දැනුම් දීලා නැහැ. ඒක නිසා අපිට කිසිම දෙයක් නිල වශයෙන් කමෙන්ට් කරන්න බැහැ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒකේ ප්‍රතිඵල ඉදිරි කාලයේදී අපිට දැනුම්දෙයි කියලා.

ප්‍රශ්නය – මෙන්න මේ අය තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කියලා ඔබ වහන්සේලාට පූර්ව නිගමණයකට එන්න පුළුවන්ද?

පිළිතුර – එහෙම පූර්ව නිගමණයකට එන්න අපිට අමාරුයි. මොකද ඒක හරි ආකාර පරීක්ෂණ කරලා, ඒ පිළිබඳ කටයුතු සැබෑ විමර්ශනයකට ගොදුරු කළ යුතුයි. අපි ඉල්ලන්නේ සැබෑ විමර්ශනයක් කරන්න. බොරු කරන්නැතුව, නොමග යැවීමක් සිදු කරන්නැතුව, ඒ සිදුවෙච්ච දේ, ඒ පිළිබඳව පිටිපස්සේ ඉන්න කවුද කියන එක පිළිබඳව හොයා බලන්න. ගෝටාබය ජනාධිපති තුමාරටත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාටත් අපි ලිපි යැව්වා. ඒ ලිපිවලින් සැකසහිත අවස්ථා මොනවද කියන එක අපි ලේඛන ගත කළා. ලේඛන ගත කරලා අපි ඒවා ඉදිරිපත් කළා. නමුත් අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරු.

ප්‍රශ්නය – මෙතෙක් පැවති වාර්තාවලින් ඔබ වහන්සේලා පිළිගන්න වාර්තාවල් මොනවද?

පිළිතුර – ජනාධිපති කොමිෂන් සභා වර්තාව අවුරුදු එකහමාරක් පමණ කාලයක් තුළ විවෘතව කරනලද විමර්ශන, සාක්ෂි විමසීම් තුළින් ඒ අය ලබා ගත්තු අත්දැකීම් සහ ඒ අයගේ නිගමන, පිටු විශාල ප්‍රමාණයක් ලියලා ඒවයේ නිර්දේශ ඇතුළත් වෙනම වොලියුම් එකක් සකස් කරලා ඒක අපිට බාරදුන්නා. ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මහත්මයාට බාරදීලා මාසයකට විතර පස්සේ. ඒ ලැබුණෙ අර නිර්දේශ විතරයි. රාජ්‍ය රහස් පිළිබඳ ඒ කොටස් අපිට ලැබුනේ නැහැ. අපි ඒවා ඉල්ලන්නෙත් නැහැ. ජනාධිපති කොමිෂන් සභා වාර්තා අපි පිලිගන්නවා. ඒ වාර්තා සියල්ලගේම සඳහන් වෙලා තියෙන්නේ, මේ පාස්කු ප්‍රහාරය වලක්වන්ට ඉඩ තියෙද්දි එය වලක්වන්නට කටයුතු නොකළ අයගේ දායකත්වය පිළිබඳ, ඒ ගොල්ලෝ දෙන යෝජනා පමණයි. ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත් අඩුපාඩු ඒ නිසා තියෙනවා. ඒගොල්ලොත් හැබැයි කිව්වා කල් මදිවුනා කියලා සමහර දේවල් ගැඹුරින් අධ්‍යනය කරන්නට.

ප්‍රශ්නය – මේ වාර්තාවල තියෙන දේවල් ජනතාව දැනගතයුතුයි කියලා ඔබ බහන්සේ හිතන්නේ නැද්ද?

පිළිතුර – මොනවාර්තාවේද?

ප්‍රශ්නය – මේ වාර්තා සියල්ලගේම යම් යම්…

පිළිතුර – ජනාධිපති කොමිෂන් වාර්තා සියල්ලගේම දේවල් ඒ විදිහට හෙළි වුනා. විජිත් මලල්ගොඩ කමිටුවේ වාර්තාව අපිට ලැබුණේ නැහැ. ඒක නිසා ඒක ප්‍රසිද්ධ වුනේ නැහැ. ඒක ගැන අපි දන්නේ නැහැ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ලැබුණා, ඒක දැන් ජනගත වෙලා අවසානයි. ඒ කමිටු පත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සමග පැවති සංවාදය (ඒ සංවාදයට මම සභාගී වුනේ නැහැ) තුළ වුන පොරොන්දුවක් ලෙස. රදගුරු තුමන්ලා ජනාධිපති තුමාට බාරදුන් ලිපියක කරුණු දැක්වීමක තිබිච්ච ඇතැම් කරුණු විමසන්නට කියලා තමයි ඒ ජනාධපතිතුමා ඒ කමිටු දෙක පත් කළේ. එතකොට චැනල් ෆෝ එක පිළිබඳව පත් කළ අර ඉමාම් වාර්තාව කිසි කෙනෙකුට ලැබිලා නැහැ. එච්චර ඉක්මනින් එවැනි වාර්තාවක් සකස් කරලා දෙන්න, ඒ කියන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා වාර්තාවක් සකස් කරලා දෙන්න තිබිච්ච කඩි කුලප්පුව මම දකින්නේ අපේ කතෝලික රදගුරු මණ්ඩලයට බොරුවක් කරලා, මෙන්න මෙහෙම විමර්ශන කෙරුවාය කියලා වැරදි මගපෙන්වීමක් ගැනීම සඳහා ඒ කමිටු යොදවා ගත්තා කියන එක තමයි අපිට ලැබෙන එකම නිගමණයන් හැටියට ගන්න පුළුවන් වෙන්නේ.

ප්‍රශ්නය – ඒ වාර්තා පිළිගන්නේ නැහැ කියලා මීට පෙර ඔබ වහන්සේ ප්‍රකාශයක් කරලා…

පිළිතුර – ඔව්. මම ඒ වාර්තා පිළිගන්නේ නැහැ. ඒ වාර්තා ගැඹුරකින් යුතුව අධ්‍යනය කරන ලද වාර්තාත් නෙවෙයි. විනිවිධ භාවයකින් පෙනෙන පරිසරයක කරන ලද විමර්ශනයකුත් නෙවෙයි. ඒ නිසා ඒ වාර්තා පිට පිලිගන්න බැහැ. අනික කඩිමුඩියේ, ඡන්දයට කලින් කතෝලික රදගුරු තුමන්ලාට වාර්තාවක් ලබා දුන්නා කියලා පෙන්වන්න කඩිමුඩුයේ කරපු විමර්ශනයක් හැටියටයි අපි ඒක දකින්නේ. මේ පාස්කු ප්‍රහාය ගැන කරුණු තුනක් තියෙනවා මෙතන. එකක් තමයි අන්තවාදී මුස්ලිම් කොටස් මේ හත්දෙනාට ලැබුණ අදහස් උදහස්, ඔවුන් ඒ මාර්ගයේ ගෙනියන්නට ලැබුණු පස්බිම, ඒ පිළිබඳ විමර්ශනය කිරීම එකක්. ඒ කියන්නේ අන්තවාදයට මොවුන් යොමු කරන්න කටයුතු කළේ කවුද කියන එක හොයලා බලන්න එක, එක ඈන්ගල් එකක්. දෙවෙනි එක තමයි, මේ කරුණ ගැන දැනගෙන සිටියදීත් මෙය වලක්වන්නට කටයුතු නොකළ නිලධාරීන් ගැන, දේශපාලන නායකයන් ගැන කරන්නට ඕන විමර්ශන ගැන. තුන්වෙනි එක මේ කරුණට අවශ්‍ය මූලික මුදල් ප්‍රතිපාදන, පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීම, මේ සඳහා අවශ්‍ය පුහුණව ලබාදීම, මේ දේවල් කළේ කවුද? මේ පිළිබඳව ගොඩාක් තොරතුරු අපිට ආරංචි වුනා. ඒ තොරතුරු අපි ඉදිරිපත් කළා මේවා විමර්ශනය කරන්න. නමුත් ඒ විමර්ශනය සිදු වුනේ නැහැ. අන්න මේ විදිහට මේ කරුනු තුනම විමර්ශනය කිරීම තුළ තමයි හරි ආකාර වාර්තාවක් හරි ආකාර විමර්ශනයක් සිදු වුනා කියලා අපිට කියන්නට වන්නේ.

ප්‍රශ්නය – දැන් සඳුදට ගම්මන්පිල මහත්තයා තව වාර්තාවක් දානවා කියනවා.

පිළිතුර – අපිට ඔය එක වාර්තාවකින්වත් වැඩක් නැහැ. එක විමර්ශනයක්වත් සාධාරණ විදිහට සිදුවෙලා නැහැ ඒ කමිටුවල. ඒ නිසා ඒ විමර්ශන කඩදාසියේ වටිනාකමවත් වට්නේ නැහැ මටනම්.

Facebook
Twitter
LinkedIn