අද (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාරවරු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට කඩිනමින් යෝජනාවලියක් සකස් කිරීම, පළාත් සභා යටතේ පවතින අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවල පුරප්පාඩු පිළිබඳව අවධානය යොමු කිරීම, නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකර කටයුතු කිරිම ආදිය පිළිබඳව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිගේ අවධානය යොමුව තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇති අතර පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ. ඊට සාධනීය විසඳුම් ලබා දීමටද මෙහිදී තීරණය කර ඇත.
පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්වය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් පළාත් සභාවලින් සිදු කළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙසද මෙහිදී ජනාධිපති පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා තිබේ.
නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ආයුරින් ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කර ඇති අතර රජයේ දේපළ භාවිත කිරීමේදී පෙර පැවති නරක පූර්වාදර්ශවලින් මිදී කටයුතු කරන ලෙසත් ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා කැපවෙන ලෙසත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දී ඇත.
උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබේ.
කන්තලේ ගොවි ජනතාවට ලබා දුන් ඉඩම් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.
උතුර පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි මෙම අවස්ථාවට සහභාගි සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.











