තීන්දු තීරණ ගත හැකි ශක්තිමත් ජන වරමක් ආණ්ඩුවට අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

තීන්දු තීරණ ගත හැකි ශක්තිමත් ජන වරමක් ආණ්ඩුවට අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

තීන්දු තීරණ ගත හැකි ශක්තිමත් ජන වරමක් ආණ්ඩුවට අවශ්‍ය යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කිරීමින් තංගල්ලේදී පැවති ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක,

“මේ රටේ ජනතාවට දීර්ඝ කාලයක් පිළුණු වුණ, කැත, අප්‍රසන්න පාර්ලිමේන්තුව වෙනුවට පිරිසිදු පාර්ලිමේන්තුවක් අවශ්‍යව තිබුණා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පසුව ඉතා කෙටි දවසකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ කාර්යභාරය, නොවැම්බර් මාසෙ 14දාට කරන්න ජනතාව අතට බාර දීලා තිබෙනවා. නොවැම්බර් 14දාට පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න කලින් සමහර අය ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙනවා. අවුරුදු 88කට පසුව හම්බන්තොට හැමදාම තිබෙන නම ඉවත්වෙලා තිබෙනවා. දැනගන්න ලැබී තිබෙන තොරතුරු අනුව 60කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙලා තිබෙනවා. ඉතිරි කොටස මේ රටේ ජනතාව අකුරටම පිරිසිදු කරන බවට අපට විශ්වාසයි.

අපි ලබාගත් ජයග්‍රහණය ස්ථාවර ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න නම්, නොවැම්බර් මාසේ 14දා ශක්තිමත් පාර්ලිමේන්තුව බලයක් ජාතික ජන බලවේගය විසින් ලබාගත යුතුයි. හැමදාමත් බොහෝ ජයග්‍රහණ ලබාදුන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. අසීරුතම අවස්ථාවල දේශපාලන කොඩිය අත්නොහැර ඉදිරියට අරගෙන යන්න විශාල දායකත්වයක් දුන්නේ හම්බන්තොට ජනතාවයි. අපිට විශ්වාසයි මේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් බලයක් ජාතික ජන බලවේගයට ලබාදෙන බව. අපි, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, ස්ථාවරව සහ ශක්තිමත්ව මේ රට ජයග්‍රහණය සඳහා මෙහෙයවනවා. ඒගොල්ලන්ට වුවමනා වෙලා තිබෙනවා අපිව කලබල කරන්න. අපි කලබල වෙන්නේ නැහැ. අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රධාන කැපවීම තිබෙන්නේ අපිටයි. දේශපාලකයන් හැටියට, ආණ්ඩුවේ නායකයන් හැටියට යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපේ කැපවීම අපි පෙන්විය යුතුයි.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව අපි ජනතාවට ඔප්පු කර දී තිබෙනවා දේශපාලනය කියන්නේ කුමක්ද? ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලා. ජාතික ජන බලවේගය ලබාදෙන නායකත්වයට අනුරූපී වෙන අයුරින් ඔබ ඉතාමත් සාමකාමීව, රතිඤ්ඤයක්වත් පත්තු නොකර, අනෙකාට කිසිදු හිංසාවක්, පීඩාවක් දෙන්නේ නැතිව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියන එක මේ රටේ ජනතාවට ඔප්පු කොට තිබෙනවා. මීට පෙර මහ ඡන්දවලදී, එකිනෙකාට එරෙහිව, ප්‍රහාර එල්ල කරමින්, කාර්යාල ගිනි තබමින්, ගැටුම් ඇති කරමින්, බයෙන් ඡන්ද කරන්න සිදුවී තිබුණා. විශේෂයෙන්ම මේ හම්බන්තොට එවැනි දේ සිදුවුණා. නමුත් මැතිවරණ ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව කොහොමද ගෙනයන්නේ කියලා, ජනතාවට අලුත් අත්දැකීමක් ලබාදීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකිවී තිබෙනවා තිබෙනවා.

අද සාමාන්‍ය කාර්යයන් ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. ඡන්දයක් තිබෙනවාද කියා සොයා ගැනීමට බැරි තරමට සාමකාමිත්වය අපි ඇති කර තිබෙනවා. අපට ඕනෙ එහෙම රටක්. දේශපාලන සංස්කෘතිය අතිශය පිරිහීමට ලක්වුණු රාජ්‍යයක්. ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමිත්වයෙන්, සෑම කෙනෙකුගේ අදහස්වලට ගරු කිරීම්, ඒ අදහස් නිදහස් ලෙස ප්‍රකාශ කිරීමට තිබෙන අයිතීන්, ඕනෑම කෙනෙකුට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩකිරීමට තිබෙන අයිතිය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමුවැනි වතාවට ස්ථාපිත කොට තිබෙනවා. අපේ ආණ්ඩුව ලෝක වාර්තාවක් සහිත ආණ්ඩුවක්. ජනාධිපතිවරයයි, ඇමතිවරු දෙන්නයි. එදිනෙදා කාර්යයන් කිසිවක් බිඳවැටීමට ඉඩ නොදී, අනාගත සැලසුම්, ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම් සකස් කරමින් අපි, ස්ථාවරව වැඩකරමින් තිබෙනවා. ශක්තිමත්, ධෛර්යවන්ත මිනිසුන්ට, කරන්න බැරි දෙයක් නොමැති බව, අපි ක්‍රියාවෙන්ම ඔප්පුකොට තිබෙනවා. ඒ වගේම රාජ්‍ය වියදම් නාස්ති කිරීම නතර කිරීම, අපි භාවිතාවෙන් තහවුරු කර තිබෙනවා. ඒවා සාමාන්‍ය දේශපාලනය නොවෙයි. මේ රටේ ජනතාව කවදාවත් අත් නොවිඳපු සංස්කෘතියක් අපි පියවරෙන් පියවර ස්ථාපිත කොට තිබෙනවා. ජයග්‍රහණය සමරන්නේ කොහොමද? මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද? ආණ්ඩුවක් කරන්නේ කොහොමද? ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු, රාජ්‍ය යාන්ත්‍රණය නාස්තිය නතර කරන්නේ කොහොමද? මේ සියල්ල අපි ඔප්පු කරමින් තිබෙනවා. අපි මැතිවරණ ව්‍යාපාරයේදී කිවුවා වගේම ශ්‍රී ලංකාව යළි පුනරුද යුගයක් කරා මෙහෙයවමින් තිබෙනවා. අපි හමුවේ තිබෙන බැරෑරුම් අභියෝගය තමයි ආණ්ඩුව බාරගත් වහාම ආර්ථිකයේ ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම.

ජනාධිපති මැතිවරණ වේදිකාවල අහන්න ලැබුණා ජාතික ජන ජයග්‍රහණය කළොත් “ගෑස් සිලින්ඩරය පුපුරනවා”,“ඩොලරය 400ට යනවා”, “ගෑස් හිඟයක් නිර්මාණය වෙනවා”, “තෙල් හිඟයක් නිර්මාණය වෙනවා”,“ජාත්‍යන්තර සබඳතා නොමැතිවීමෙන් ආර්ථිකය කඩා වැටෙනවා” නොයෙක් දේ කියමින් අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් චෝදනා එල්ල කළා. අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමයි. අපි කෙටි දවසක් ඇතුළත කොටස් වෙළඳපොළත් එක්ක සම්බන්ධවී තිබෙන ආයෝජකයන්ට අපි විශ්වාසය තහවුරු කළා. අපේ රටේ කර්මාන්තය ව්‍යාපාරයේ යෙදෙන කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට ආර්ථිකය පිළිබඳව අපි විශ්වාසය තහවුරු කළා. ජාත්‍යන්තර සංවිධානත් එක්ක ඉතා හොඳින් රටට හිතකර වන ලෙස ගනුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. රටේ ජනතාවට, ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට, අපේ ආර්ථිකය පිළිබඳව යම් සැකයක් තිබුණා නම්, ඒ සැකය සම්පූර්ණයෙන්ම තුරන් කොට යළි ස්ථාවර ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කොට අවසන්.

අපි මේ වන විටත් රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000දක්වා වැඩි කරමින් මේ මාසයේ සිට ලබාදීමට කටයුතු කළා. විශ්‍රාමිකයන් සඳහා වූ දීමනාව ඔක්තෝබර් මාසයේ සිට රුපියල් 3000ක අතිරේක දීමනාවක් ලෙස ලබාදීමට කටයුතු කළා. දෙසැම්බර් මාසයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වෙනකොට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබෙනවා. එම අයවැය ලේඛනයෙන්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳවත්, පාසල් දරුවන්ට ලබාදෙන දීමනාවක් පිළිබඳවත් අපි අවධානය යොමුකොට තිබෙනවා. දිළිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව එළඹෙන අයවැය ලේඛනයෙන් වැඩි කරනවා. ඒ වගේම අලුතෙන් රැකීරක්ෂා උත්පාදනය වීමට අවශ්‍ය වෙන ආර්ථික පදනම නිර්මාණය කරනවා. ලෝකයේ සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑමක් ඇති වන සිදුවීමක් සිදු නොවුණොත්, ලංකාවට වැඩිම සංචාරකයන් එන වසර බවට 2025 වසර අපි පත් කරනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් සාමාන්‍ය පුරවැසියන් බලා ගැනීම අපේ වගකීමක්. එය අපි ඉටුකොට තිබෙනවා. ඒ වගේම සහනාධාර මත, දීමනාවන් මත ජීවත් වෙන ජනතාවක් වෙනුවට ඔවුන්ට ආර්ථිකයේ හැකියාවක් නිර්මාණය කරන පදනමක් අපි හදනවා. එය අයවැය ලේඛනයේ සිට ක්‍රමානුකූලව දියත් කරන්න සැලසුම් කොට තිබෙනවා. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් අපි ඇති කරනවා. සෑම දරුවෙක්ම දැනුම මත හෝ වෘත්තීමය පුහුණුව මත, අත්දැකීම් සහිත දරුවෙක් ලෙස පාසලෙන් එළියට එන්න ඕනෑ. සමහරු අහනවා “හොරු ඇල්ලුවාද?” කියලා. හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා. ෆයිල් 400 ගණනක් තිබෙනවා. සියල්ලම වසා දමා තිබෙන්නේ. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තුළ හිරවී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා, සියල්ල යළි විවෘත කරන්නත්, ක්‍රමාණුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරන්නත්. 2015 වංචනිකයන්ට, දූෂණයන්ට එරෙහි පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක, වැඩ බවට පරිවර්තනය වුණා. ජාතික ජන බලවේගයේ අපි ඉතා සැලසුම් සහගතව, සෑම දත්තයක්ම නිසි පරිදි ඉටුකර ගනිමින්, නිසි පරිදි අධිකරණයේදී දඬුවම් ලබාදිය හැකිවන ආකාරයට නඩුව ගොනුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. දූෂිතයන්ට හා වංචනිකයන්ට දඬුවම් ලබාදිය යුතු බවට, මේ රටේ ජනතාවගේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තිබුණා. එම අපේක්ෂාව ඉටුකරන එක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කාර්යය. එපමණක් නොවෙයි, අපේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කොට තිබුණා. ඒ ගිවිසුම්වල අනෙක් පාර්ශ්වයන්ට අපි දැනුම් දී තිබෙනවා, මේ ගිවිසුම් යළි සමාලෝචනය කිරීම අවශ්‍ය බව. එම කාර්යයන් කරන්න නම්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ශක්තිමත් ජන වරමක් තිබෙන බව සියලු දෙනාට ඒත්තු ගැන්විය යුතුයි. අපට හිතකර පරිදි එම ව්‍යාපෘති වෙනස් කිරීම සඳහා, සාකච්ඡාවල, ගිවිසුම්වල යළි සංශෝධනය සඳහා අවස්ථා ලැබෙන්නේ මොනතරම් ප්‍රමාණයකින් ජනතාව ඒ සඳහා ජනවරමක් දෙනවාද කියන සාධකය මතයි. ඔබ ඒ ජනවරම ලබාදිය යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවුණු අවස්ථාවේ අපි පැහැදිලිව ප්‍රකාශ කළා, අපට ජනතාව දෙන ජනවරමේ ස්වභාවය අනුව අපට සමහර දේවල් පිළිබඳ තීන්දු තීරණ ගන්න සිදුවේවි කියලා. ජනවරම තමයි අප පිටුපස තිබෙන බලය. මේ වනස්කම් සියල්ල කරන්න, එළඹෙන නොවැම්බර් මාසේ 14 වැනිදා ශක්තිමත් ජන වරමක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ලබාදෙන්න කටයුතු කරන්න. සමහර අය හිතනවා මේ ආණ්ඩුව මාසෙන් දෙකෙන් කඩාගෙන වැටෙයි කියා. ජාතික ජන බලවේගය ආරම්භ කළ මේ ගමන මේ රට ගොඩනඟලා, මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව මේ ගමන නතර කරන්න බැරි බව සියලු දෙනාම තේරුම් ගත යුතුයි. මේ කඩා වැටී තිබෙන රාජ්‍ය සහතික වශයෙන්, අපි ගොඩනගනවා. දුප්පත්භාවයේ ගිලිටීනයට හිරවෙලා සිටින ජනතාව, දුප්පත්භාවයෙන් අපි මුදා ගන්නවා. ආර්ථිකය නංවන්න, ජනතාවට සහාය දෙන්න, වංචා දූෂණ අවම කරන්න, අපි කටයුතු කරනවා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරන්න ඕනෑ. ඉදිරි වසර පහ ඇතුළත වැදගත් පරිවර්තනයන් අපි අපේ රටට ගේනවා.

ලංකාවේ, මේ අවස්ථාවේ එම ක්ෂේත්‍රයේ බිහිවී සිටින ප්‍රබලතම විද්වතා, අත්දැකීම් තිබෙන කෙනා, තමන්ගේ සියල්ල අත්හරිමින්, ස්වේච්ඡාවෙන්, අපේ රටේ සමස්තය ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය ලබාදෙන්න සූදානම්. තව සතියකින් හෝ දෙකකින් අපි එය ආරම්භ කරනවා. අපේ ආණ්ඩුවේ පළමු කාලය නිමාවීමට පෙර, අපේ රටේ සියලු පුරවැසියන්ට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගැනීමට, රජයට තමන්ගේ කාර්යය පහසුවෙන් ඉටුකර ගැනීමට, බදු ගෙවන්නේ කොහොමද? බදු එකතු කරන්නේ කොහොමද? ආධාරයක් ලැබෙන්නේ කොහොමද? පාසල් දරුවාට යම් ආධාරයක් ලබාදෙන්නේ කොහොමද? මේ සියල්ල තාක්ෂණය මගින් කිරීමට අවශ්‍ය වෙන පසුබිම මේ පළමු ආණ්ඩු කාලය ඇතුළත අපේ රටේ ස්ථාපිත කරනවා. නව යුගයකට, නව තලයකට අපේ රට අවතීර්ණ කරනවා. ෆයිල් ගොඩගසන රාජ්‍ය සේවයක් වෙනුවට, ජනතාව රස්තියාදු වෙන රාජ්‍ය සේවයක් වෙනුවට, නිවසේ සිට තමන්ගේ රාජකාරිය කර ගැනීමට හැකි තත්වයක්, ඉතා පහසුවෙන්, කාර්යක්ෂමව රජය විසින් තමන්ට ලබාගත යුතු සේවාවන් ලබාගත හැකි තත්වයක්, පෝලිමේ නොසිට පොහොර සහනාධාරය, අස්වැසුම, දරුවන්ට අවශ්‍ය මෙවලම් ටික, ලබා ගැනීමට හැකි ඉතාමත් ශක්තිමත්, ඩිජිටල් ආර්ථිකයක් බවටත්, රාජ්‍ය සේවයක් බවටත් නූතන සියවසට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා. ඒ සඳහා අපි අලුත් අමාත්‍යාංශයක් ගොඩනඟනවා. ඒ සඳහා විශාල අත්දැකීම් සහිත කණ්ඩායම් මිලියන ගණනින් වැටුප් ලබන අය, සියල්ලම අත්හැර ස්වේච්ඡාවෙන් මේ රට ගොඩනැගීමේ කාර්යයට පණ පොවන්න සූදානමින් ඉන්නවා.

ඒ වගේම අපේ රට පිරිසිදු ශ්‍රී ලංකාවක් බවට පරිවර්තනය කරනවා. පරිසර පද්ධතියට ආදරය කරන, පිරිසිදුභාවය තිබෙන, කැළිකසල තැනින් තැන දමා නොයන, වෙරළ තීරය ආරක්ෂා කරගන්න, මංසන්ධි, කඩපොළ පිරිසිදු කරන “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ආරම්භ කර, මේ වසර කිහිපය ඇතුළත, ලංකාව ලෝකයේ පිරිසිදුභාවයේ සංකේතය බවට පරිවර්තනය කරනවා. ඒ සඳහා විශාල සැලසුම් ප්‍රමාණයක් අපි සකස්කොට තිබෙනවා. අපි පර්වර්තනීය යුගයකටයි මේ පය ගසා තිබෙන්නේ. සමහර අය කියනවා, එයාලගෙන් අපි පළිගන්න හදනවා කියලා. අපි කිසිදු කෙනෙක් ගෙන් පළිගන්නේ නැහැ. නමුත් මහජනතාවගේ දේපොළ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන, දේශපාලනඥයන්ට ඉඩ දෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට වාහන 16ක් හා ඇම්බියුලන්ස් රථ දෙකක් බැගින් ලබාදී තිබුණා. ඒවා ඉතා ඉක්මනින් බාර දෙන්න අපි කිවුවා. දැනට තිබෙන චක්‍රලේඛ අනුව වාහන තුනක් හිමියි. ඒ වාහන තුන ලබාදෙනවා. අපි කමිටුවක් පත්කොට තිබෙනවා, චක්‍රලේඛන සංශෝධනය කරලා, හිටපු ජනාධිපතිවරු බලා ගන්න එක ආණ්ඩුව නතර කරනවා. කවුරු හෝ කෙනෙකුට ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් තිබෙනවා නම්, අපි ආරක්ෂාව ලබාදෙන්නම්. හැබැයි ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා, ජනතාවගේ දේපළ නාස්ති කරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ. ආසන්නව හිටපු ජනාධිපතිවරයා, කෝකියෝ 16ක්, ආරක්ෂාවට 163ක්, වාහන විසි ගණනක්, කුඩ 30ක්, අවශ්‍ය බවට අපට ලිපියක් එවා තිබෙනවා. අපි ඒවා දෙන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ධනයෙන් නාස්තිකාර ජීවිත ගත කරලා, ඒවා එයාලගේ අයිතියක් ලෙස හිතාගෙන ඉන්නවා. ඒවා අයිතියක් නොවෙයි. ඇම්බියුලන්ස් ගෙදර තබාගෙන ඉන්න දෙන්නේ නැහැ. ආරක්ෂාවට තර්ජනයක් කියලා බොරුවට නිවේදන දාන්න එපා. මහජනතාවගේ දේපළ, අයිතියක් ලෙස නාස්ති කිරීමේ උත්සාහයක් මේ තිබෙන්නේ. ඒවා නතර කිරීම සඳහා මේ රටේ ජනතාවගෙන් අපට ජන වරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරමට අනුව කටයුතු කිරීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරන්නේ.

ඒ වගේම ආයුධ සහ පිස්තෝල තබා ගන්න බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. අපි ඒවා නැවත ලබාදෙන්න ලෙස ඉල්ලුවා. ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබෙනවා නම් සමාලෝචනය කොට, නැවත අපි දෙන්නම්. අපේ රටේ තැන තැන ඝාතන සිදුවෙනවා. විශාල ලෙස ආයුධ ප්‍රමාණයක් සංසරණය වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආයුධ හයක්, හතක් දී තිබෙනවා. යෝෂිතට දී තිබෙනවා. ඇවන්ගාඩ්ට ආයුධ 08ක් දී තිබෙනවා. ඒ සියල්ලම ආපසු ආණ්ඩුවට බාර දෙන්න ඕනෑ. නීත්‍යානුකූලව ලබාදී තිබෙන ආයුධ නැවත නිවැරදි පරිදි සමාලෝචනය කොට, පසුව රටේ තිබෙන නීති විරෝධී ගිනි අවි අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුමක් දියත් කරනවා. තැන තැන සිදුවෙන ඝාතනයන්, අපරාධයන් නවත්වන්න ඕනෑ. අපට ජනවරම ලබාදී තිබෙන්නේ ඒකට. ඒ සඳහා අවශ්‍ය පියවර අපි ගන්නවා. අපි මත් කුඩුවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වගකීම බාර ගන්නවා, ඒ සඳහා සැලසුම් දියත් වෙමින් තිබෙනවා. අපි පියවරෙන් පියවර, ශක්තිමත්ව මේ රට ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ වගකීම ජාතික ජන බලවේගයේ අපි බාර ගන්නවා.

මේක මගේ රට වගේම ඔබේත් රට. අපේ දරුවන්ගේ පමණක් නොවෙයි, අපේ සියලුම දෙනාගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ තිබෙන ප්‍රශ්නය. මේක විසඳන්න නම්, මේ පරම්පරාවේ අපි ඒ සඳහා වැඩ කළ යුතුයි. ඒ සඳහා මෙහෙය විය යුතුයි. අපේ පරම්පරාව ඒ වෙනුවෙන් මහන්සි වෙමු; කැප වෙමු. අපේ අනාගත පරම්පරාවට හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. මේක තමයි අවස්ථාව. අනෙක් දේශපාලන පක්ෂවල තිබෙන්නේ කුඩා කුඩා කෙඳිරිලි. ඒවා දුකට කියන කතා. අවුරුදු 88කට පස්සේ ඡන්ද අපේක්ෂක ලැයිස්තුවේ නම නැහැනේ. ඒ නිසා දුකයි. අපි ඉතා ශක්තිමත්ව, ස්ථාවරව මේ පාලනය ඉදිරියට ගෙනියනවා.

මේ සඳහා අපට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. අපි අමාත්‍යාංශ විද්‍යාත්මකව හදා තිබෙනවා. නොවැම්බර් 14 දිනෙන් පසුව උපරිම අමාත්‍යාංශ 25කට ස්ථාපිත කරනවා. ඒකට අවශ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරනවා. මේ රට ආපසු හරවන්න බැරි තරමේ ජයග්‍රහණයන් සඳහා අපි මෙහෙයවනවා. අපේ අපේක්ෂාවන්ට, අපේ අරමුණු සඳහා මෙහෙයවීමට ශක්තිමත් වෙන, දායකත්වයක් ලබාදෙන පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි. අද අවශ්‍ය වී තිබෙන්නේ බලවත් ආණ්ඩුවක්. මේ සකස් කොට තිබෙන න්‍යාය පත්‍රය, මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව ප්‍රමාණයෙන් බලවත් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුව නියෝජනය වන කණ්ඩායම ගුණාංගවලින්, අවංකභාවයෙන්, අදූෂිතභාවයෙන්, අධිෂ්ඨානශිලිත්වයෙන් බලවත් වෙන්න ඕනෑ. එවැනි බලවත් ආණ්ඩුවක් නොවැම්බර් මාසයේ 14වැනිදායින් පසුව ගොඩනඟමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු. පෙළගැසෙමු.”

Facebook
Twitter
LinkedIn