අයවැයෙන් වැඩි කළ රු. 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

අයවැයෙන් වැඩි කළ රු. 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපති ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීම සඳහා 2024/08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා මුදල් වෙන් කර තිබී නැත.

මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ මුදල් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව 2024 ඔක්තෝම්බර් මස විශ්‍රාම වැටුප සමඟ නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයින් මුහුණ දී ඇති දුෂ්කරතා හා ඒ පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම සලකා බලමින් පවතින රාජ්‍ය මූල්‍ය දුෂ්කරතා තුළ වුවද මෙම මස සිටම එම මුදල ලබාදීමට මෙහිදී ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන ලෙසත් එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Facebook
Twitter
LinkedIn