රටවල් රැසකින් අගමැති හරිනිට සුභ පැතුම්!

රටවල් රැසකින් අගමැති හරිනිට සුභ පැතුම්!

ආචාර්ය හරිනි අමරසූරිය නව අගමැති ලෙස පත්වීම සම්බන්ධයෙන් රටවල් රැසක තානාපතිවරුන් පසුගිය 02 වනදා පස්වරුවේ අගමැති කාර්යාලයේ දී සිය සුබ පැතුම් එක් කර තිබේ.

ඉන්දියාව, ජපානය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කොරියාව, බංගලාදේශය සහ මාලදිවයින යන රාජ්‍යයන් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් මෙසේ සිය සුභ පැතුම් එක් කර ඇත.

අගමැති සහ ඉන්දියානු මහා කොමසාරිස් සන්තෝෂ් ජා, අගමැති කාර්යාලයේ පැවති මහත්මා ගාන්ධි ජන්ම දින සැමරුමට එක් වූ අතර මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අතින් සිදු කර තිබේ.

අනතරුව අගමැති සහ ඉන්දියානු මහා කොමසාරිස් අතර පැවති සාකච්ඡාවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳවත් ඉදිරි සංවර්ධනයන් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම්වලට එළැඹිම පිළිබඳවත් අවධානය යොමු කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි (Mizukoshi Hideaki) ද අගමැති හරිනි අමරසූරිය වෙත සිය සුබපැතුම් එක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පසුගිය සාමකාමී මැතිවරණය පිළිබඳවත් ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර ඇත. මීට අමතරව ජපන් රජයේ අරමුදල් සපයන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණය කිරීම, ජපානයේ ප්‍රදාන සහ ණය ආධාර මත සිදු කරන එහෙත් දැනට ඇනහිට ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ආයෝජකයින්ගේ විශ්වාසය ඇතිවන පරිදි විනිවිධභාවයෙන් කටයුතු කිරීම ඇතුළු කාරණා මෙහිදී සාකච්ඡා කර තිබේ.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත සුභ පැතුම් එක් කර ඇති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් රටේ ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම, මෙන්ම ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බව අවධාරණය කර ඇත. ලංකාවේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රගතිය සඳහා පවතින ක්‍රියා පටිපාටි විධිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පෙන්වා දී තිබේ. එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා වන සූදානම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම සහ සුමට බල හුවමාරුවක් සහතික කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රශංසා කරන බවත් දෙරට අතර හවුල්කාරිත්වය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ සහය ඉදිරියටත් ලබා දීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් සිය උණුසුම් සුබ පැතුම් පිරිණමමින් පවසා තිබේ.

අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, ළමා සෞඛ්‍යය, ස්වදේශිකයන් සඳහා බහුභාෂා සංවර්ධන වැඩසටහන් ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සහ ගෘහස්ථ සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යන කරුණු කෙරෙහි දෙරටේ අවධානය යොමු කර ඇත. ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ආර්ථික විනිවිදභාවය සහ වගවීම ස්ථාපිත කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබේ. මීට අමතරව, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා බදු එකතු කිරීමේ ක්‍රම විධිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කර ඇත.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත කොරියානු රජයේ සුභ පැතුම් පිරිණමා ඇති අතර කොරියානු ජනරජයේ තානාපතිනී මියොන් ලී සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය දෙරටේ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡාවක නිරත වී තිබේ. ශ්‍රී ලංකාව තුළ වඩාත් ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳවද සාකච්ඡාවේ දී අවධානය යොමු කර ඇත. තනි කවුළු ක්‍රියාවලියක් (Single window process) ක්‍රියාත්මක කිරීම, ක්‍රියා පටිපාටි සරල කිරීම, විනිවිදභාවය සහතික කිරීම සහ හිතකර ආයෝජන වාතාවරණයක් නිර්මාණය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) ද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇත. දෙරටේ වත්මන් තත්වයන් සහ මෑතකාලීන සිදුවීම්වලින් උගත් වටිනා පාඩම් පිළිබඳවත්, වත්මන් අභියෝගවලට මුහුණ දීම සඳහා අතීත අත්දැකීම් උකහා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කර තිබේ. යහපාලනයේ ස්ථාවරභාවය සඳහා ස්වාධීන කොමිෂන් සභාවක කාර්යභාරය පිළිබදවද අගමැති අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කර තිබේ. මාලදිවයිනේ පුරවැසියන් මුහුණ දෙන වීසා අභියෝග පිළිබඳව අවධානය යොමු කර ඇති මහ කොමසාරිස් මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීමට කැමැත්ත පළ කර ඇත. අතර ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මාලදිවයින විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව කෘතඥතාව පළ කර තිබේ.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි සහ ඉන්දියාව, ජපානය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කොරියාව, බංගලාදේශය සහ මාලදිවයින රාජ්‍යයන් නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිට ඇත.

ජපන් තානාපති හමුව

ගාන්දි පිළිරුවට උපහාර දැක්වීම

ඇමරිකානු තානාපතිනිය හමුවීම

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත සුභ පැතුම් එක් කිරීම

බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත සිය සුබ පැතුම් පිරිණැමීම

කොරියානු ජනරජයේ තානාපතිනී මියොන් ලී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත සුභ පැතුම් පිරිණැමීම

මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කිරීම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්