තීරණාත්මක ජනාධිපතිවරණයේ දී ඡන්ද භාවිතය අඩු වූයේ ඇයි ?

තීරණාත්මක ජනාධිපතිවරණයේ දී ඡන්ද භාවිතය අඩු වූයේ ඇයි ?

පසුගිය සතියේ පවත්වන ලද ජනාධිපතිවරණයේ දී ඡන්ද භාවිතය අඩු වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මේ අතුරින් සමස්ත ඡන්ද භාවිතය පිළිබඳ මුල දී ඉදිරිපත් වූ සංඛ්‍යාලේඛනවලින් කියැවුණේ, එය සියයට 75ක් වූ බව ය. එහෙත්, අවසානයේ තහවුරු වී තිබෙන්නේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 79.46ක් ඡන්දය භාවිත කර ඇති අතර, එම භාවිත කළ ඡන්ද සංඛ්‍යාව 1,36,19,916ක් වී තිබූ බව ය. ඒ අතුරින් ඡන්ද 3,00,300ක් නරක් වූ ඡන්ද ලෙස ඉවත දමා ඇත. ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 1,71,40,354ක් ය. මේ අතර 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 1,59,92,096ක් වී තිබිණි. එයින් ඡන්ද 1,33,87,951ක් එනම්, ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 83.72ක් භාවිත කර තිබිණි. නරක් වූ ඡන්ද සංඛ්‍යාව 1,35,452ක් ය.

මේ අනුව 2019 වසරට වඩා මෙවර ඡන්ද භාවිතය සියයට 4කට මඳක් වැඩි ප්‍රමාණයකින් අඩු වී තිබිණි. ඊට බලපෑ හේතු පිළිබඳව විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ රට අත්හැර ගිය පිරිස මෙන්ම විදේශ රැකියා සඳහා ගිය පිරිස ද මූලික සාධකය වී ඇති බවයි. මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා 1,75,163ක් විදේශ රැකියාවලට ගොස් ඇති අතර, 2023දී එය 2,97,656ක් මෙන් ම 2022දී 3,11,056ක් වී තිබිණි. මේ අනුව මේ වසරේ මුල් මාස හත සහ පසුගිය වසර දෙක තුළ දී 7,83,875ක් විදේශ රැකියා සඳහා ගොස් ඇත. මෙම පිරිස ඡන්දය භාවිත නොකිරීම තීරණාත්මක ලෙස ජනාධිපතිවරණයේ දී ඡන්ද භාවිතය අඩු වීමට බලපා ඇති බව තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn