විශාල ගැටළුවක්ව පැවති වීසා ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට ගෙවී ගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට ජාතික ජන බලවේගය රජය කටයුතු කර තිබේ.
ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් අවධාරණය කරයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්ව මහජන ආරක්ෂක ඇමති විජිත හේරත්,
“වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.
ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකියි. අද මධ්‍යම රාත්‍රි 12න් මෙම කටයුතු ආරම්භ කර පැය 24ක් තුළ වීසා ලබා දීම සිදු කරනවා. මෙය විශාල ජයග්‍රහණයක්.
වීසා ගැටළුව විශාල පීඩාවක් ගෙන දුන් ප්‍රශ්නයක් වුණා. දැන් අප එම ප්‍රශ්නයට විසඳුම් ලබා දී අවසන්. ඒ පිළිබඳ අප නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත්තා. අධිකරණ තීන්දුව අනුව වහාම අප ක්‍රියාත්මක වුණා.
එසේම VFS ආයතනයට මෙය ලබාදීම මඟින් සිදු වූ අක්‍රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් කටයුතු කර තිබෙනවා. එම විගණනය හරහා මේ ගනුදෙණුවේ තිබෙන අක්‍රමිකතාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
ඒ අනුව ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්‍රයේ සිටින අයටත් දැන් එම පහසුකම ලැබෙනවා.”










