මජර දේශපාලනයේ නියැලී සිටින අයට 21 දා කතිරයෙන්ම උත්තර දෙමු යැයි ප්‍රවීණ ගායක ක්‍රිශාන්ත එරන්දක පවසයි.
ඔහු මෙලෙස ආරාධනා කළේ ඊයේ (06) මරදන්කඩවලදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායකගේ ජය තහවුරු කිරීමේ `රට අනුරට’ විජයග්‍රාහී රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ ගායක ක්‍රිශාන්ත එරන්දක පවසයි,
“මේ වගේ දේශපාලන වේදිකාවක කථාකරන කොට මට ටිකක් බයක් දැනෙනවා. මොකද, මම දහස් ගණන් නරඹන වේදිකාවල ඕනෑ තරම් ගීත ගයලා තිබෙනවා. එතකොට කිසිම බයක් දැනෙන්නේ නැහැ. නමුත් අද කථා කරන්නේ දේශපාලන වේදිකාවක. මාලිමාවේ වේදිකාවේ. එනිසා අපෙන් පුංචි වචනයක් වැරදුණත් සමහර මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල අය බලන් ඉන්නවා. අපිට මඩ ගහන්න. සමහර විට අපේ කථාවල එහෙන් මෙහෙන් කෑලි අහුලගෙන ඒවා විකෘති කරලා දානවා. අපිට විරුද්ධව එහෙම මඩ කෑල්ලක් දැම්ම ගමන් අපේ රටේ ජනතාව ඊට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දක්වනවා. එහෙම වෙන්නෙ මාලිමාව ජයග්‍රහණය කරවන්න අපිට වඩා වුවමනාවක් ඔබට තිබෙන නිසා.
අපි ඉවසගෙන ඉඳලා මේ මජර දේශපාලනයේ නියැලී සිටින අයට 21 වැනිදාට අපේ කතිරයෙන්ම උත්තර දෙමු. එදාට මේ රළු, ගොරෝසු මිනිසුන්ට ජයග්‍රාහී සිනහවකින් අපි උත්තර දෙමු. 21 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා අපි මාලිමාවට ඡන්දය දෙමු. එතකොට තමයි අපට විරුද්ධව මට අවලාද ගහන අයට හොඳටම රිදෙන්නේ. දැනට අවුරුදු 2 1/2කට පමණ ඉස්සර දවසක් මට අනුර සහෝදරයාගේ ලස්සන කතාවක් ඇහෙනවා. සමහර දේශපාලකයෝ කතාකරන දේවල්වල තිබෙන්නේ සද්දේ විතරයි. අගක් නැහැ, මුලක් නැහැ. මොනවා කියනවාද කියලා කියන කෙනාවත් දන්නේ නැහැ. දේශපාලන හරයක් නැහැ. ඒ වගේම රටට වුණේ මොකක්ද කියලා කියන්නේ නැහැ. නමුත් අනුර සහෝදරයාගේ කතා ඊට හාත්පසින්ම වෙනස්. ඒවා හරයාත්මකයි. අර අවුරුදු 2 1/2කට පෙර මට ඇහුණු අනුර සහෝදරයාගේ කතාවේ එක තැනක ඔහු මෙහෙම කියනවා. මේ රට හදන්න ආර්ථික, දේශපාලනික වැඩපිළිවෙළක් ඕනෑ. ඒකට අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනෑ. එහෙම තමයි අපිට පුනරුද යගයක් හදන්න පුළුවන් වෙන්නේ. එහෙම කියන ගමන් ඔහු කියනවා අපි මේ මොනවා කරන්නත් රට ඇතුළෙ සංස්කෘතික මිනිහෙක් හදන්න ඕනෑ කියලා. මෙතුවක් කාලයකට ඒ වගේ කතාවක් මේ රටේ කිසිම දේශපාලකයෙක්ගෙන් මම අහලා නැහැ. රට ගොඩගැනීමට උරදෙන්න නම් රටට වැඩදායක මිනිහෙක් ඕන තමයි. නමුත් සංස්කෘතික මිනිහෙක් හදන්න ඕනෑ ඇයි? මට අනුරගේ ඒ කතාව සංවේදීව හිතට දැනුණා. මේ සමාජය මෙතනට වට්ටපු මේ රට මෙතෙක් පාලනය කළ දේශපාලනඥයින් අපි තුළ හිටපු සංස්කෘතික මිනිසා ගලවලා විසි කරලා දැම්මා. අපේ සමාජයේ මිනිස්සුන්ට සතුට බෙදා ගන්න බැරිතැනට පත් කළා. තව මිනිහෙක්ගේ කරදරයකදී ඒ මනුස්සයාගේ දුක අපට බෙදා ගන්න බැරි වුණා. මේකට වගකියන්න ඕනැ පාලකයන්. අන්න ඒ නිසා තමයි, මේ රට මනුෂ්‍ය සමාජයක් ලෙස හදන්න නම් සංස්කෘතින මිනිසෙක් හදන්න ඕන කියලා අනුර සහෝදරයා කියන්නේ.
මම කියන ගීත ඔබ අහලා අහලා ඇති. මිනිහෙක් වුණාම ගීතයක් අහන්න ඕනැ; රස විඳින්න ඕනෑ; නවකතාවක් කෙටිකතාවක් කියවන්න ඕනැ, චිත්‍රපටයක් බලන්න ඕනැ. අඩුම තරමින් කෑම කන කොටවත් ගෙදර උදවිය එක්ක සතුටින් ගත කරන්න ඕනැ. එහෙම සමාජයක් මේ පාලකයො අපිට නැති කළා. අපිව හුදකලා මිනිස්සු බවට පත් කළා. අනුර සහෝදරයා ඒ නිසා තමයි කිවුවේ මේ රට හදන්න නම් රටට වැඩදායී සංස්කෘතික මිනිසෙක් ඕනැ කියලා. මේ රටේ දේශපාලනයත් මේ රටේ ආර්ථිකයත් ගොඩනඟන්නේ ඔහු තමයි. දුවේ පුතේ මටත් ඉන්නවා දුවලා දෙන්නෙක්. මගේ ලොකු දුව මේ අවුරුද්දෙ එයාගේ පළමු ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ අලුත් පරම්පරාව හිතන පතන විදිහ හරි වෙනස්. ඒ පරම්පරාවේ තරුණ තරුණියෝ පරාජය පළමුවෙන් බාර ගන්නේ නැහැ. මම මගේ ලොකු දුවගේ දේශපාලන වටපිටාව මම පොඩ්ඩක් හොයලා බැලුවා. එයාලා මිතුරු සමාජයක් හදාගෙන ඉන්නවා. මම ඇගේ ෆෝන් එකට ටිකක් එබිලා බැලුවා. මොනවද මේ කෙටි පණිවුඩ දිදී කතා කරන්නේ කියලා. බලනකොට ඇගේ මිතුරු සමාජයේ ඔක්කොම මාලිමාවට. මේ රටේ තරුණ ඡන්ද ආසන්න වශයෙන් ලක්ෂ 12ක් පමණ තිබෙනවා. ඉන් 95%ක් මාලිමාවට, අනුරට කියලා. ඒක ස්ථිරයි. 21 වැනිදා උදෙන්ම ගිහිල්ලා අපේ යුතුකම ඉටුකරමු. මාලිමාව ඉදිරියේ කතිරය ගසා අපේ අනුර සහෝදරයාව ජයග්‍රහණය කරවමු.”









