ජනතා සහන වෙනුවෙන් මුදල් හොයා ගන්නා වැඩපිළිවෙළක් අපට තිබෙනවා – අනුර කුමාර දිසානායක

ජනතා සහන වෙනුවෙන් මුදල් හොයා ගන්නා වැඩපිළිවෙළක් අපට තිබෙනවා – අනුර කුමාර දිසානායක

ජනතා සහන වෙනුවෙන් මුදල් හොයා ගන්නා වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයට තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (22) බණ්ඩාරගමදී පැවති ජාතික ජන බලවේගයේ ‘රට අනුරට’ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක,

“රට පුරාම මේ ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවක්, මතයක් වාගේම අරමුණක් තිබෙනවා. මෙතෙක් නොතිබුණු අවස්ථාවක් මේ ක්‍රමය වෙනස් කරන්න උදා වී තිබෙනවා. ඒ සඳහා මෙතෙක් බලා සිටි අයට සැප්තැම්බර් 21වැනිදා ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා වෙනස් කිරීමේ ආරම්භය ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ අපි වෙනස් කිරීම පටන් ගන්න ලෑස්තියි. 22වැනිදා ඉඳලාම අපි ඒ වැඩේට බහිනවා. වංචාවේ, දූෂණයේ ගිලී තිබෙන ආණ්ඩුකරණය වෙනුවට එයින් මුදා ගන්නා ආණ්ඩුකරණයක් ඕනෑ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරමයි. මහජනයාට වඩා උඩින් සඳලුතලයේ ඉන්න දේශපාලනඥයන් සහ පතුලේ ඉන්න ජනතාවක් වෙනුවට හැමෝම සම තත්වයේ හිඳිමින් කටයුතු කෙරෙන වෙනසක් ජාතික ජන බලවේගයෙන් සිදු කරනවා. මේ දක්වා පාලකයාට නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රෝහිත පාර්ලිමේන්තුවේ ඉන්නවා. මිලියන හතළිහක වත්කම් උපයා ගත්තේ කොහොම ද කියලා අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණයක් පැවැත්වූවා. හරියටම පරීක්‍ෂණය පවත්වන දවසේ නයා කෑවා. සාමාන්‍ය පුරවැසියෙක් මෙහෙම කළා නම්, පොලිසියට නයාවත් ගේන්න කියනවා. පොදු ජනයාටත්, පාලකයාටත් සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටක් ජාතික ජන බලවේගයෙන් බිහි කරනවා.

පොලිසියේ මහත්වරුන්ටත් තමන්ගේ යුනිෆෝම් එකේ, තමන්ගේ සහ රැකියාවේ ගෞරවය තබාගෙන කිසිම දේශපාලනඥයකුට යටත් නොවී නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා රටක් හදන්න ඕනෑ. ඒ වෙනස කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින්. මුළුමනින්ම කඩාවැටී, සාමාන්‍ය පුරවැසියකුට ඉක්මනින්ම තමන්ගේ කටයුතු කරගත නොහැකි මට්ටමේ පවතින රාජ්‍ය යාන්ත්‍රණය ගොඩනඟන්නේ ජාතික ජන බලවේගයෙන්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනයත් මුළුමනින්ම වෙනස් කරන්න ඕනෑ. විෂයයන් නවීකරණය කරන්න ඕනෑ. ලෝකයේ අලුත් විද්‍යාව හා තාක්‍ෂණය උරා ගන්නා, දෙමාපියන්ට බරක් නොවන අධ්‍යාපනයක් අපි හඳුන්වා දෙනවා. ඒ අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක්. ක්‍රමානුකූලව මෙම කටයුතු සිදු කරන තෙක් ජනතාව ජීවත් කරවන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ 2048 දී එයා රට හදන තෙක් ඉවසන්න කියලයි. මරු මෑන් ! 2048 වෙන කොට එයාට අවුරුදු අනූනවයයි. එයා 2030 දී රට හදන බව කීවේ නැහැ. එහෙම කීවා නම්, මාධ්‍යවේදියො ප්‍රශ්න කරයි. නමුත්, 2048 වන තුරු එයාවත් ඉඳී ද? අපි පියවරෙන් පියවර රට ඉදිරියට ගෙන යන අතර, දිළිඳු ජනතාව ආණ්ඩුව විසින් බලා ගන්නවා. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය ලබාගත නොහැකි පුරවැසියන්ට මාසයකට රුපියල් 10,000කට වැඩි දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කර තිබෙනවා. ජීවිතාන්තය දක්වා නොවෙයි; මේ ආධාරය ලබා දෙන්නේ, රට ගොඩනඟමින්, ප්‍රතිලාභ ලැබෙන තුරු සෞඛ්‍යාරක්‍ෂිතව, දරුවාට අධ්‍යාපනය ලබා දෙමින් ජීවත් වෙන්නයි.

රැකියාවක් කරන කෙනාටත් බඩු මිල, සෞඛ්‍ය වියදම් වාගේම දරුවන්ගේ අධ්‍යාපන වියදම් දරා ගන්න බැහැ. ඒ නිසා ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධ බදු ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මුළුමනින්ම ඉවත් කරනවා. ජාතික ජන බලවේගයට ඒ වෙනුවෙන් සල්ලි කොහෙන් ද කියලා කට්ටියක් අහනවා. රනිල් වික්‍රමසිංහ අද කියලා තියෙනවා හෙක්ටයාර් එකකට රුපියල් 15,000 බැගින් පොහොර සහනාධාරයක් දෙනවාලු. අවුරුද්දකට දළ වශයෙන් හෙක්ටයාර් ලක්‍ෂ 14ක් වගා කරනවා. ආසන්න වශයෙන් රුපියල් මිලියන 22,000ක් විතර අවශ්‍ය වෙනවා. ඒ වාගේම ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000.00 ගාණේ වැඩි කරනවාලු. ආසන්න වශයෙන් අවුරුද්දකට රුපියල් කෝටි 40,000ක් විතර ඕනෑ වෙනවා. ඒ ගැන ප්‍රශ්න නොකරන අය ජාතික ජන බලවේගයෙන් දිළිඳු ජනතාවට ලබා දෙන සහනාධාර ගැන ප්‍රශ්න කරනවා. අපි ඒ සහනාධාර ලබා දෙන්නේ හොඳින් තෝරා බලා සකස් කර ගත් නිර්ණායක අනුව අවශ්‍යම ජනතාවට. එක කන්නයක් පොහොර සහනාධාරය ලබා දෙයි. ඔය කියන පඩි වැඩි වීම කරන්නේ නැහැ. එයා ජනවාරි වෙන කොට ගෙදර බව දන්නවා. ජාතික ජන බලවේගය රට ගොඩනඟමින් යන අතර, ජනතාව රැකබලා ගැනීම ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් මේ වන විටත් අය කර ගත හැකිව තිබෙන නමුත්, අය කරගෙන නොමැති බදු රුපියල් කෝටි 110,000ක් තිබෙනවා. ජනතාවගෙන් අය කර ගත් සමහර බදු වර්ග ඒ ජාවාරම්කාරයන් ආණ්ඩුවට ගෙවා නැහැ. ආණ්ඩුවට සම්බන්ධ අයගේ අරක්කු පැක්ටරි තුනකින් විතරක් රුපියල් කෝටි හයසිය ගණනක් එකතු කර ගන්න තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, අර්ජුන් ඇලෝසියස්, සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැග්ග ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මේ විදියට බදු පොලු තියලා තිබෙනවා.

ජනාධිපතිවරු, ඇමැතිවරු නඩත්තු කරන්න කොච්චර වියදමක් මහජනතාවගේ ධනයෙන් දරනවා ද? අවුරුද්දක දී විදේශගත වෙන්න අවශ්‍ය මුදල් තක්සේරු කරලා වෙන් කරනවා. නමුත්, රනිල් වික්‍රමසිංහට අවුරුද්දටම වෙන් කළ මුදල් මාස කිහිපයක දී ඉවර කරලා. ඒ ගොල්ලන්ගේ දේශපාලනය කරන්න මහජනයාගේ ධනය වියදම් කරනවා. මේ විදියට වෙන් කර ගත් සල්ලි මදි වෙලා අලුතින් ලක්‍ෂ දෙදාහක් රට යන්න විතරක් වෙන් කර ගත්තා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ නාස්තිය නතර වෙනවා. ඇමැතිවරුන්ට නිවාස, ලයිට් බිල්, වතුර බිල්, වාහන හත අටක්, ඉන්ධන, ටෙලිෆෝන් බිල් ගෙවන්නෙත් මහජනතාව. කෙහෙළිය රඹුක්වැල්ලගේ ගෙදරට 121,000ක මාසික ලයිට් බිලක් ආවා. භාණ්ඩාගාරයට ලැබෙන සල්ලි හොරකම් කරනවා විතරක් නොවෙයි, අත දිගහැර නාස්ති කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හොරකම නතර කර වංචාව දූෂණය නතර කර අය කරගත යුතු බදු අය කරගෙන අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවනවා. ඒ නිසා කාට සල්ලි හොයා ගන්න අමාරු වුණත්, ජනතාවට ලබා දිය යුතු සහන ලබා දීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට සල්ලි හොයා ගන්න වැඩපිළිවෙළක් තිබෙනවා.

පියවරෙන් පියවර රට ගොඩනඟන අතර, එක දරුවකුවත් අධ්‍යාපනයෙන් පිටමං වී පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. දුප්පත්භාවයෙන් මිදෙන්න තිබෙන ප්‍රධාන අවස්ථාව අධ්‍යාපනයයි. අපේ සැලැසුම්වල වැඩිම අවධානය යොමු කර තිබෙන්නේ නැණවත්, ගුණවත්, නිරෝගීසම්පන්න දරු පරම්පරාවක් ගොඩනැඟීමේ අධ්‍යාපනය වෙනුවෙන්. ලෝකයේ වටිනාම සම්පත් හැටියට වෙනත් භෞතික දේවල් හඳුනාගෙන තිබුණත්, අද වෙන කොට දැනුම මූලිකම සම්පතක් හැටියට ඉදිරියට පැමිණ තිබෙනවා. අපේ තරුණ, තරුණියන් මෘදුකාංග ඉංජිනේරුවරුන් හැටියට අඩුම තරමින්, ලක්‍ෂ දෙකක්වත් බිහි කරන්න සැලැසුම් සකස් කර තිබෙනවා. ඒ වාගේම ඉදිරි කාලයේ දී ක්‍රියාත්මක කරන සමස්ත වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. ලබන 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය කියන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඔබ අපට බලය ලබා දෙන දවසයි. ඒ නිසා ඉදිරි ටික දින තුළ අපි හැම දෙනාම ඉතා හොඳින් සැලැසුම් කරලා තවත් අය හමු වී දැනුවත් කර ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට ලබා දෙන්න ක්‍රියා කරන්න. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම ක්‍රියා කර රට ගොඩනැඟීමට එකතු වෙමු කියලා ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn