ඡන්දෙ ගත්තු නායකයො වාසි බලාගෙන පැන්නාට ජනතාව ඉන්නෙ මාලිමාව එක්ක යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රවීණ සිනමාවේදී ජගත් මනුවර්ණ අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (21) ගම්පොළදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපිත අපේක්ෂක අනුර දිසානායකගේ ජය තහවුරු කිරීමේ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රවීණ සිනමාවේදී ජගත් මනුවර්ණ,
“පලනි දිගම්බරන් සහ වේළුකුමාර් අතර වලිය කවුරුත් දකින්න ඇති. වේළුකුමාර් නුවරින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. දිගම්බරන් නුවරඑළියෙන් තේරී පත් වී සජිත් එක්ක ඉන්නවා. වතුකරයේ ඉන්න තේ වතුවල අව්-වැසි නොබලා ශ්‍රමය වගුරුවන අම්මලා, තාත්තලාගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තු ගිහින් ඒ ඡන්ද ටික ගෙඩි පිටින් කාලයෙන් කාලයට විකුණා තමන්ගේ සාක්කුව තර කර ගන්නා පිරිසගේ ක්‍රියාකලාපය දැන් පැහැදිලියි. ඡන්දය කිට්ටු වෙද්දී, වතුකරයේ ජනතාවගේ දවසක පඩිය රුපියල් එක්දහස්හත්සීයක් කරන බවට නැවත කියවමින් එන අතිශය මුග්ධ අය, චණ්ඩිකමින් තමන්ගේ දේශපාලනය කරන්න එනවා. වේළුකුමාර්, දිගම්බරන්ට කීවේ කුඩු දිගා කියලා. අපි දන්නේ නැහැ කුඩු ගහනවා ද? කුඩු විකුණනවා ද කියලා. හැබැයි, එයාගේ යාළුවා වේළුකුමාර් තමයි, කිවුවේ. දිගම්බරන් වේළුකුමාර්ට කියනවා බාර් කුමාර් කියලා. මෙච්චර කාලයක් ඒ ගොල්ලන් දේශපාලනය ගෙන ගිය ආකාරයත්, ලබා ගත් ජනවරමට කළේ මොනවා දැයි ඉතාමත් පැහැදිලියි.
අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව, ඉවසීමෙන් ජාතික ජන බලවේගයේ දේශපාලනය කරගෙන ඇවිත් ඉන්නේ. මේ වන විට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියන එක රටේම ජනතාවට පැහැදිලියි. ඊයේ, පෙරේදා පිල් පැන්න චරිත හේරත්ලා, නාමල් රාජපක්‍ෂලා දළදා මාලිගාව වටේ රේස් පදින කාලයේ නිහඬව ඉඳලා අපේ පාලනයක් යටතේ පෙරහැර තහනම් කරන බව කියනවා. නැවත වතාවක් රට, ජාතිය අනතුරේ බව කියලා බිල්ලන් මවලා ඉදිරියට එන්න බැහැ. නාලක ගොඩහේවාලා, චරිත හේරත්ලා, චන්න ජයසුමනලා, විමල් වීරවංශලා, නාමල් රාජපක්‍ෂලා එක්ක එකතු වී මුස්ලිම් ජනතාව වෛරක්කාරයන් බවට පත් කරන ප්‍රචාර හැදුවා. දොස්තර සාෆි මවුවරුන් දහස් ගණනක් වඳ කළ බවට කතා හැදුවා. චන්න ජයසුමනලා තව දුරටත් ජාතිවාදය වපුරලා, අවසානයේ පාස්කු ප්‍රහාරය එල්ල කර 2019 ජනාධිපතිවරණයට පාර කපා ගත්තා. නුවර දිස්ත්‍රික්කයෙන් ලොහාන් රත්වත්තලා, මහින්දානන්ද අලුත්ගමගේලා, දිලුම් අමුණුගමලා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යැව්වා. ඒ අය අද වාසි පැති බලලා පැනලා. නමුත්, ඔවුන්ට ඡන්දය දුන් ජනතාව අද ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. දැන් ඉන්නේ තව දුරටත් ඔවුන්ගේ උප්පරවැට්ටිවලට හසු නොවන ජනතාවක්.”











