දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ලබා දීමත් සමඟ අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ තවත් වරක් අන්ත පරාජිත තත්වයට පත් සිටී.
ඔහු පොලිස්පති ධුරයට පත් කරන අවස්ථාව වනවිට ද මෙරට වැසියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබූ අතර තවත් අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු මෙන් ම පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට ක්රියා නොකිරීමේ චෝදනාව ද එල්ල වී තිබිණි. එසේ තිබියදීත් තම පටු දේශපාලන අවශ්යතා වෙනුවෙන් රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරයේ බලය යොදා ගනිමින් කතානායකගේ තීරක ඡන්දයෙන් පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත් කරනු ලැබීය.
ඉන් පසුව, ගෙවී ගිය සති කිහිපයක් තුළ දේශබන්දු තෙන්නකෝන් හරහා ප්රජා පොලිස් කමිටු සාමාජිකයන් කැඳවා රනිල් වික්රමසිංහගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවලට යොදා ගන්නා ලදී. 2022 මැයි 09 වෙනි දින රාජපක්ෂ මැරයන් ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ අවස්ථාවේ දී බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මැරයන්ට ආරක්ෂාව දෙනු සජීවි රූපවාහිනී විකාශන තුළින් නිරීක්ෂණය විය.









