මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට ඇප ලබාගැනීම සඳහා එම නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටින නීතිඥයා ඉවත් කරන ලෙසට, රාජ්‍ය බුද්ධි අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් සිටින බව සන්ධ්‍යා එක්නැලිගොඩ ප‍්‍රකාශ කළාය.
ඇය මේ බව ප‍්‍රකාශ කළේ ද දෙසැම්බර් 23 දින කොළඹ සමාජ හා සාමූහික කේන්ද්‍රයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී ඇය ජනාධිපතිවරයාගෙන් හා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය බුද්ධි අංශයේ එම ඉල්ලීමට ඉඩ ලබානොදෙන ලෙසය.
එහිදී ඇය අවධාරණය කළේ අපරාධවලට සම්බන්ධ ඕනෑ තරම් හමුදා සොල්දාදුවන් බන්ධනාගාරගතව සිටින බව හා ඒ අයව බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහු යටතේ සිටි ඇමතිවරුන් නොයන්නේ මන්ද යන්නයි. ඇය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසුවේ අපරාධකරුවන් බේරාගැනීමට උත්සාහ නොකරන ලෙස හා එසේ කළහොත් මහින්ද රාජපක්ෂට ද හිරේ යෑමට සිදුවන බවයි.
මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ එකමුතුව ඉල්ලා සිටින්නේ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් දිරීම පිළිබඳව සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණ සම්බන්ධව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිරීම ම`ගින් එම පරීක්ෂණ කරනු ලබන නිලධාරීන්ට තර්ජනය කිරීමේ කි‍්‍රයාවලිය දැඩි ලෙස හෙළා දකින බවයි.
හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකු වුවද, කෙතරම් බලවත් දේශපාලනඥයෙකු වුවද ඔවුන්ට මිනී මැරීමට හා අපරාධ සිදුකිරීමට අයිතියක් හිමි නොවන බවද, ති‍්‍රවිධ හමුදාව කෙරෙහි රටේ ජනතාවගේ ඇති ගෞරවය භාවිත කරමින් තමන් සිදුකළ සාපරාධී කි‍්‍රයාවන් වසා ගැනීමට යම් දේශපාලනඥයන් ගන්නා වූ ප‍්‍රයත්නය හෙළා දකින බවද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම එම නිවේදනය අවධාරණය කරන්නේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට නම් ඕනෑම බලවතෙකුට විරුද්ධව ඇති සාපරාධී චෝදනා පිළිබඳව නිදහසේ විමර්ශන කටයුතු සිදුකිරීමට අයිතිය තිබිය යුතුය යන්නයි.
උපුටාගැනීම රාවය








