රාජපක්ෂ පාලන කාලයට අදාළ බරපතළ දූෂණ, වංචා, අක‍්‍රමිකතා හා අපරාධ පිළිබඳ පරීක්ෂණ අවසන් කරන්නට ඒ සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ජනාධිපති කොමිසමටවත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයටතවත්, අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටවත් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් හෝ හැකිද යන සාධාරණ සැකය මේ වන විට ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඇති වෙමින් තිබේ. ඒ හේතු දෙකක් නිසාය. එකක් දැනටමත් මාධ්‍ය මගිනුත් වාර්තා වී ඇති සමහර සිදුවීම් පිළිබඳ පරීක්ෂණ අවශ්‍ය තරම් වේගයෙකින් හා නිවැරදිව ඉදිරියට යන බවක් පෙනෙන්නට නොතිබීමය. දෙවැන්න මෙතෙක් වාර්තා වී ඇති හා තවදුරටත් වාර්තා වෙමින් පවතින සිදුවීම් ප‍්‍රමාණය අතිවිශාල වීමය. අමතරව එම සැකයන් තවදුරටත් ස්ථිර කරන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා අප‍්‍රසිද්ධියේ රාජපක්ෂවරුන් සමග සිදුකරන රහස් සාකච්ඡාවන්ය.
පරීක්ෂණ කි‍්‍රයාවලිය තුළ ජනතා බලාපොරොත්තු ඉටුවේද නැද්ද යන්න පිළිබඳව තවම අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වුවද රාජපක්ෂ පාලනයට අදාළව මතුවන සිදුවීම් පිළිබඳව සටහන් තැබිය යුතුමය. ඒ අය ඉතිහාසය පිළිබඳ අනාගත සාක්ෂියක් වන නිසාය.
මේ ඉතිහාසගත සාක්ෂියට එකතු කරන්නට මෙවර අපට ලැබී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ ඔටුනු නොපළන් කුමරා වූ නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම නම් වූ නීති උපදේශක සමාගම පිළිබඳ තොරතුරුවලින් බිඳක්ය. නාමල් රාජපක්ෂ නීතිඥ විභාගයෙන් ඉහළම සාමාර්ථයක් ලබාගෙන සමත්වීමේ සිදුවීම නැවත සිහියට නඟා ගතයුතු කුප‍්‍රකට සිද්ධියකි. මේ නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයට ඇතුළත් වන ප‍්‍රවේශ විභාගයෙන් සමත්වූවා යැයි කීමෙන් පසු, නීති විද්‍යාලය තුළ අධ්‍යයන කටයුතුවල යෙදෙන අයුරක් දක්නට ලැබුණේ නැත. එහෙත් ඔහු නීතිඥයෙකු වශයෙන් සමත්වීමේ නීති විද්‍යාල අවසන් විභාගයට විශේෂ ආකාරයන් පෙනී සිටි බව රටට හංගන්නට එදා ද බැරිවිය. එවක නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ විශේෂ අනුග‍්‍රහය මත ඔහු එම විභාගයට මුහුණ දුන්නේ විභාගය පැවැත්වූ පොදු ශාලාවක නොව විශේෂ කාමරයකය. එම කාමරය තුළ සිදුවූයේ කුමක්ද යන්න දන්නේ එවක නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා පමණය. එම විශේෂ කාමරයේ මහිමය නිසාමදෝ නාමල් රාජපක්ෂ එම විභාගයේ අසාමාන්‍ය ලකුණු ප‍්‍රමාණයක් ලබා ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දුන් දිනයේ එවක අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සහ ඔහුගේ මව-පියා ඇතුළු පවුලේ සාමාජිකයන් සමග සමූහ ඡුායාරූපයකට පෙනී සිටීමේ වරදම ඔහුට හිමිවිය.
මේ සිදුවීම වූයේ, ඔහු 2011 දෙසැම්බර් 15 වැනිදාය. නීතිඥ වෘත්තියේ දිවුරුම්දීමෙන් පසු අත්දැකීම් ලබාගැනීම සඳහා කනිෂ්ඨ නීතිඥයෙකු වශයෙන් කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදුවන කි‍්‍රයාවලිය වුවද නාමල් රාජපක්ෂ ඉන් බැහැරව ඉහත කී NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම පිහිටුවා ගත්තේය. ඒ නීති උපදෙස් ලබාදීම සඳහාය.
මේ සමාගමට සමාගම් රෙජිස්ට‍්‍රාර්වරයාගේ ලියාපදිංචිය ලැබෙන්නේ 2012 ජනවාරි 16 දිනය. ඒ කියන්නේ ඔහු නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී හරියටම මාසයක් තුළදීය. එහි රුපියල් දහයක නාමික කොටසක් හිමි ප‍්‍රථම හිමිකරුවා වන්නේ කාල්ටන්, මහවෙල පාර, තංගල්ලේ පදිංචි ලක්ෂ්මන් නාමල් රජපක්ෂය. ප‍්‍රථම අධ්‍යක්ෂවරු වන්නෝ අංක 66, උයන, මොරටුව පදිංචි නිත්‍යා සේනානි සමරනායක හා අංක 175/2, පරණ කැස්බෑව පාර, මිරිහාන, නුගේගොඩ පදිංචි සුදර්ශා බණ්ඩාර ගනේගොඩය.
මේ සමාගමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල නීති උපදෙස් කොන්ත‍්‍රාත්තු රාශියක් ලැබී ඇති බව දැනට වාර්තා වී ඇති තොරතුරුය. ඒ අතරිනුත් පෞද්ගලික සමාගම් කිහිපයක් NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගමට ගෙවා ඇති සැක කටයුතු ගෙවීම් පිළිබඳ තොරතුරු කිහිපයක් අපට ලැබී ඇත.
ඉන් එක් සමාගමක් වන්නේ බොස්ටන් කැපිටල් පෞද්ගලික සමාගම නමැති අංක 30/51 A ලොන්ඩන් පෙදෙස, කොළඹ 07 ලිපිනයට, ලියාපදිංචි සමාගමය. මෙම බොස්ටන් කැපිටල් සමාගම අප සතුව ඇති තොරතුරු අනුව NR කන්සල්ටන්ස් සමාගමට උපදේශ සේවා සඳහා 2012 ජූලි 18 දින රුපියල් ලක්ෂ 15ක් ද, 2012 සැප්තැම්බර් 14 දින රුපියල් 36ලක්ෂ විසිපන්දහසක් ද, 2012 ඔක්තෝබර් 02 දින රුපියල් 39 ලක්ෂ හැටහත්දහසක් ද, 2012 ඔක්තෝබර් 10 දින රුපියල් ලක්ෂ 70 ලක්ෂයක් ද, 2013 පෙබරවාරි 18 දින රුපියල් 17 ලක්ෂ දහතුන් දහස් හයසීයක් ද වශයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂ අනූඅටදහස් හයසීයක මුදලක් ගෙවා තිබේ. මෙහිදී පැන නගින ප‍්‍රශ්නය වන්නේ බොස්ටන් කැපිටල් සමාගමට එතරම් විශාල මුදලක් ගෙවා මාස කිහිපයක කාලයකදී නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ස් සමාගමෙන් ලබාගන්නට ඇති නීති උපදේශනය කුමක්ද යන්නයි.
මීට අමතරව SHS කන්ස්ට‍්‍රක්ෂන්ස් පෞද්ගලික සමාගමද 2012 ජූලි මස 05 වන දින රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් හා 2012 අගෝස්තු 23 දින රුපියල් පන්ලක්ෂයක් NR කන්ස්ල්ටන්ස් සමාගමට උපදෙස් වෙනුවට ගෙවා ඇත. මෙම SHS සමාගමේ එක් අධ්‍යක්ෂවරියක් වන්නී චන්ද්‍රසේකර පවිති‍්‍රකා සුජානි බෝගොල්ලාගමය. විශේෂත්වය වන්නේ ඇය නාමල් රාජපක්ෂගේ NR කන්ස්ල්ටන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරනිය වීමය. SHS සමාගමෙන් උපදේශන සේවා ගාස්තු ඉල්ලා ලිපි ලියන්නේ ද ඇයම වීමය. ඒ අනුව එම සමාගම් අතර ඇති අන්තර් සම්බන්ධතාව හඳුනාගැනීම අපහසු නැත.
තවද කොළඹ ලෝක වෙළඳපොළ ගොඩනැගිල්ලේ බටහිර කුළුනේම හතරවන මහලේ පිහිටි TRIMAX පෞද්ගලික සමාගමද 2012 ඔක්තෝබර් 18 දින ඇමරිකානු ඩොලර් 5000ක මුදලක් උපදේශන සේවා ගාස්තු වශයෙන් NR කන්ස්ල්ටන්ස් සමාගමට ගෙවා ඇති අතර, චෙස්මි කොන්සොලිඩේටඩ් පෞද්ගලික සමාගමද රුපියල් 59 ලක්ෂ පනස්දාහක මුදලක් 2013 ජනවාරි මාසයේදී NR කන්ස්ල්ටන්ස් සමාගමට ගෙවා ඇත. මෙම චෙස්මි කොන්සොලිඩේටඩ් සමාගම යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරියගේ පුත‍්‍රයා විසින් පවත්වාගෙන යනු ලබන සමාගම වන අතර, රාවය මීට පෙර හෙළිදරව් කරන ලද උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට අයත් ජංගම දුරකථන සමාගම්හි සේවා සපයන්නේ ඔවුන් විසින්ය.
ඉහතින් සඳහන් කරන ලද අපට ලැබී ඇති තොරතුරු අනුවද නාමල් රාජපක්ෂගේ NR කන්ස්ල්ටන්ස් පෞද්ගලික සමාගම සඳහා උපදේශන හා නීති සේවා ගාස්තු වශයෙන් ලැබී ඇති මුදල් ප‍්‍රමාණයන් පිළිබඳව සැකයක් ඉපදීම වැළැක්විය නොහැකිය. ඊට හේතුව නීති උපදේශක සේවා සඳහා රටේ කීර්තිමත්ම නීතිඥ සමාගම් පවා එතරම් මුදලක් අය නොකිරීමය. අනෙක නාමල් රාජපක්ෂගේ සමාගමට මුදල් ලබාදී ඇති ඉහත සඳහන් සමාගම්වලට නීති උපදෙස් ලබාගැනීම සඳහා වූ හේතුවු කරුණු මොනවාද යන්න පැහැදිලි නැත.
මෙම සැකය තවදුරටත් වර්ධනය කරන්නේ නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ස් සමාගමේ නාමල් රාජපක්ෂ සතු රුපියල් 10ක එක් කොටසක් වූ එම සමාගමේ කොටස් අයිතිය 2013 ඔක්තෝබර් 25 දින බංග්ලාදේශයේ ඩකා නගරයේ අහමඩ් අල් ෂමාහ් නමැත්තෙකුට පවරාදීම නිසාය. ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඒ ඇයිද යන්න ආපස්සට සෙවීම දූෂණ වංචා සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක ආයතනවල වගකීම බව අපි අවධාරණය කරමු.
උපුටාගැනීම රාවය








