කොමිස් මුදල් ලබාගැනීමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් විසින් මැදපෙරදිගින් මිලදීගත් රුපියල් කෝටි දෙසිය පනස් පහක් පමණ වටිනා තාර බැරල් එක්ලක්ෂ පනස් දහසක් විකුණාගත නොහැකිව මුතුරාජවෙල ගබඩාවල ගොඩගසා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන බව දිවයින් පුවත්පත වාර්තා කරයි.
පසුගිය රජය යටතේ ගෙන්වන ලද මෙම තාර බැරලයක් රුපියල් 17,000 ක් වැනි මිලකට අලෙවි කිරීමට නියමිතව තිබුණද මෙරට වෙළෙඳපොළේ පවතින මිල රුපියල් 12,0000 ක් පමණ යෑයි සංස්ථා ප්‍රධානියකු දිවයිනට පවසා තිබේ.
මීට පෙරාතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් අතිරේක නිෂ්පාදනයක් ලෙස තාර නිෂ්පාදනය කළද මේ වනවිට මෙරටට අවශ්‍ය තාර පිටරටින් මිලදී ගෙන ඒවා විකිණීමට සංස්ථාවට සිදුව ඇත.
මෙම තාර තොගය මේ වනවිට මුතුරාජවෙල පිහිටි සංස්ථා ගබඩාවේ ගොඩගසා තිබෙන අතර එම තාර මිලදී ගැනීමේදී අනුගමනය කළ පටිපාටිය හා ඒවා යළි විකිණීමට නොහැකි වී ඇති කාරණාවලට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස සංස්ථා නිලධාරීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම තාර තොගය විකුණාගත නොහැකිව තිබිම සම්බන්ධයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ක්‍රිෂාන්ත වික්‍රමසිංහ මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ පසුගිය රජය පුද්ගලික සමාගම් විස්සකට පමණ තාර ආනයනය කිරීමට අවසර දී ඇතැයි ද ඒ අය ප්‍රමිතිය පවා නොතකා අඩු මිල ගණන්වලට තාර ආනයනය කර විකිණීම නිසා සංස්ථාව ආනයනය කළ තාර විකුණාගත නොහැකිව ඇති බවයි.
ඊට අමතරව අධිවේගී මාර්ග ඉදිකිරීම් අඩාලවීම හා අලුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ නොවීම යන කාරණාද තාර අලෙවියට බලපෑ බව ද හෙතෙම පැවැසීය.
උපුටාගැනීම දිවයින









