ගව මස් අනුභව කළේ යැයි පවසමින් හින්දු භක්තිකයින් පිරිසක් සිදු කළ පහර දීමකින් පසුගියදා ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ඩැඩ්රි නැමති ගම්මානයේ මුස්ලිම් ජාතිකයකු මිය යෑම අවාසනාවන්ත සිදු වීමක් බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසිවක් ප්‍රකාශ නොකර සිටීම පිළිබඳව එරට විපක්ෂය අගමැතිවරයා දැඩිව විවේචනයට ලක්කර ඇති අතර එම තත්වය හමුවේ මොදි මෙම ප්‍රකාශය සිදු කර ඇති බව පැවසේ.
මෝදි අගමැතිවරයා ප්‍රබල හින්දු භක්තිකයකු වන අතර ඔහු නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයද හින්දු ජතිකවාදී නැඹුරුවක් පවතී. මේ වනවිට ඉන්දියාව පුරා ගවමස් ආහාරයට ගැනීම පිළිබඳව විරෝධයක් මතු වෙමින් පවතින අතර හින්දු භක්තිකයින්ට අනුව ගවයා යනු ශුද්ධ වූ වස්තුවකි. මේ වනවිට ප්‍රාන්ත ගණනාවක ගවමස් ආහාරයට ගැනීම තහනම් කර ඇති බව පැවසේ.
එවැනි වටපිටාවක් තුළ උතුරු ප්‍රදේශයේ මෙම මනුෂ්‍ය ඝාතනය සිදු වී ඇති අතර ඊට එරෙහිව මුස්ලිම් ජාතිකයින් අතර විරෝධයක් මතු වී ඇති බව පැවසේ. ඉන්දියාව යනු දැඩි ලෙස ආගමික විශ්වාසයන් පිළිපදින ජනතාවක් වෙසෙන රාජ්‍යයක් වන අතර නිරන්තර ජාතිවාදී කෝලහාල ඇතිවේ. මෙම සිදුවීමෙන් පසුව මුස්ලිම් හා හින්දු භක්තිකයින් අතර විරසකයන් ඇති වීමේ අවධානමක් ඇතැයි පැවසේ.









