සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික මහ සභාව දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී ඊයේ (14) පැවැත්විණි.
මෙම අස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා, ප්‍රවීණ රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු මහතා, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් තරිඳු උඩුවර මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් මහතා ඇතුළුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසකගේ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ජාතික මහ සභාව පැවැත්විණි.
එහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ අදහස් පහතින් පල වේ.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින්…
“සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික මහසභාව පැවැත්වීමට විශේෂ හේතු දෙකක් තිබෙනවා. සමාජවාදී ශිෂ්‍ය සංගමය ගොඩනැගුවේ 1975-76 වකවානුවේදී. ඒ නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් වසර විස්සකට පසුවයි. මේ වනවිට නිදහස් අධ්‍යාපනය ලැබිලා වසර හැත්තෑවක් පමණ වෙනවා. ශිෂ්‍ය සටන් ව්‍යාපාරයට මේ වනවිට වසර හතළිහක් ගතවෙලා තිබෙනවා. එනිසා 2017 වසරේදී ශිෂ්‍ය සංගමයේ මහ සමුළුව පැවැත්වීමට නියමිත වී තිබුණත් මේ වර්ෂය විශේෂ අවස්ථාවක් නිසා ජාතික මහ සභාව පවත්වන්න අපි තීරණය කළා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය මුහුණ දී තිබෙන අභියෝග තේරුම් අරගෙන ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නව ජාතික නායකත්වයක් හඳුන්වාදීමත් මෙහි අරමුණ වෙලා තිබෙනවා.
අපේ රටේ නිදහස් අධ්‍යාපනය යම් තරමකින් හෝ ඉතිරිවී තිබෙනවා. ඔබ අහලා ඇති මේ රටේ තිබුණ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පහුගිය ආණ්ඩු විසින් විකුණලා දැම්මා. පෞද්ගලික අංශයට පැවරුවා. ඒ වගේම රජයට අයිතිවී තිබුණා විශාල වතු ප්‍රමාණයක්. දැන් ඉතිරිවී තිබෙන්නේ කීයෙන් කීයක්ද? අපේ රටේ ජාතික රෝහල සමග තරඟ වදින්න කොයිතරම් පෞද්ගලික රෝහල් ප්‍රමාණයක් ඉදිවෙලා තිබෙනවාද? එහෙත් තවමත් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය නොවී ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ මොකක් නිසාද? අපේ රටේ ජනතාව මේ ගැන හිතලා බැලිය යුතුයි. ජනවාරි මාසය වනවිට රජයේ පාසලට තමන්ගේ ළමයා ඇතුල් කරගන්න මොනතරම් තරඟයක් තිබෙනවාද? ඒ, තවමත් රජයේ පාසල් ඉතිරිවී තිබෙන නිසයි. කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ බොහෝ අය ශිෂ්‍ය අරගලවල වටිනාකම තවම තේරුම් අරගෙන නැහැ. ජනතා විමුක්ති පෙරමුණ, ශිෂ්‍ය ව්‍යාපාරය, අපේ රටේ ප්රගතිශීලී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බැස්සේ නැත්නම් අද නිදහස් අධ්‍යපනයක් ඉතිරි නොවෙන්න තිබුණා. එදා ජේ.ආර්. ජයවර්ධන පටන් ගත්ත විදියට දිගටම ගියානම් අද සටන්පාඨ වෙනස් වෙන්න තිබුණා. එහෙම වුනානම් අද කියන්න වෙන්නේ, පෞද්ගලික පාසල්වල ගාස්තු අවම කරන්න කියලයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සියලූ රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න පටන් ගත්තා. 1980දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හඳුන්වලා දුන්නා. 1976 සිට 2012 දක්වාම බොහෝ ශිෂ්‍යයින් තමන්ගේ උපාධිය, ජීවිතය පවා කැපකර අරගල කළේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. ඒ, තමන්ගේ උපාධිය වෙනුවෙන්ම පමණක් නෙමෙයි; තමන්ගේ නංගිලා මල්ලිලාගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන්.
ශිෂ්‍යයින්ගේ මේ කැපකිරීමේ ප්‍රමාණයට ජනතාව විසින් ශිෂ්‍ය අරගල හරියට තේරුම් අරගෙන නැහැ. විශ්වවිද්‍යාල සිසුන් නිදහස් අධ්‍යාපනය රැකගන්න පාරට බැස්සාම පාර බ්ලොක් වුණා කියලා බොහෝ පිරිස් ශිෂ්‍යයින්ට බැනවදිනවා. නමුත් එම ජනතාව හිතන්නේ නැහැ, තමන්ගේ දරුවා රජයේ පාසලකට යන්නේ, රජයේ විශ්වවිද්‍යාලයකට යන්නේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් කරන මේ අරගල නිසා කියලා. ලෝකයේ බොහෝ ශිෂ්‍ය ව්‍යාපාරවලට වඩා අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට සටන්කාමී ඉතිහාසයක් තිබෙනවා. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ගින්නෙන් පන්නරය ලැබූ වානේ වගේ පන්නරය ලැබූ ව්‍යාපාරයක්. අසූ ගණන්වලදී එක්සත් ජාතික පක්ෂය ගෙනා මර්දනීය වැඩපිළිවෙළට ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න පුළුවන් වුනේ නැහැ.
දැන් අපේ රටේ පාලකයෝ අධ්‍යාපනයට 06%ක් වෙන්කරන්න ඕන කියලා කතා කරනවා. මේ මාතෘකාව කතාකරන මට්ටමට ගේන්න අපේ රටේ ශිෂ්‍ය ව්‍යෘපාරය, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ජනතා විමුක්ති පෙරමුණ විශාල අරගලයක් කළා. නමුත් කණගාටුවට කරුණ එදා ආණ්ඩුවේ එස්.බී. දිසානායක අධ්‍යාපනය ඇමතිවරයා සිදුකරපු වහසි බස් දෙඩීම මේ ආණ්ඩුවේ රාජිත සේනාරත්න ඇමතිවරයා භාරගෙන සිටීමයි. මේ ආණ්ඩුවත් අධ්‍යාපන පෞද්ගලීකරණය අතහැරලා නැහැ කියලා, රාජිත සේනාරත්නගේ සමහර කතාවලින් අපිට තේරුම් යනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනය රැකගැනීම දුෂ්කර කාර්යයක් වෙලා තිබෙනවා. ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය අනෙකුත් ප්රගතිශීලි ව්‍යාපර සමග කඳවුරු බඳින්න ඕනෑ. සමාජවාදී ශිෂ්‍ය සංගමය එම වගකීම දෙවුර මත තබාගෙන කටයුතු කරනවා.”
ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින්…
“අපේ රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ආරම්භ කළේ 1977දීයි. 1980-81 කාලයේදී අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ සැලසුම සමග අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කළා. එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. එම අධ්‍යාපන ධවල පත්‍රිකාව පරාජයට පත්කිරීමේ වගකීම ශිෂ්‍ය ව්‍යාපාරය බාරගත්තා. ජනතා විමුක්ති පෙරමුණ එයට සහාය ලබාදුන්නා. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව 1980දී ජූලි වර්ජනයෙන් කම්කරුවන් මර්දනය කරලා වැඩකරන ජනතාව ලක්ෂයක් පාරට ඇදලා දාලා හිටියේ. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය හමුවේ පරාජය බාරගන්න සූදානමක් එදා ආණ්ඩුවට තිබුණේ නැහැ. ඒ නිසා තමයි ජේ.ආර්. කිව්වේ ‘ශිෂ්‍යයින් පාරට බැස්සට, උද්ඝෝෂණ කළාට අධ්‍යාපනය ධවල පත්‍රිකාව නතර කරන්න පුළුවන් කමක් නැහැ’ කියලා. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනගිය අරගලය හමුවේ ධවල පත්‍රිකාව අකුළාගන්න සිදුවුණා. කම්කරු පංතිය ඉස්සරහ දණ නොගසපු ජේ.ආර්. ජයවර්ධනට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණගහන්න සිද්ධවුණා. ඒකට හේතුවක් තිබුණා. එදා කම්කරු පංති ව්‍යාපාරයට නායකත්වයක්, වැඩපිළිවෙළක්, උපායමාර්ගයක් තිබුණේ නැහැ. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා දැක්මක්, උපායමාර්ගයක් තිබුණා. ඒ නිසා ශිෂ්‍ය අරගලය ජයග්‍රහණය කළා.
එදා ශිෂ්‍ය ව්‍යාපාරය අධ්‍යාපනය වෙනුවෙන් පමණක් නොව ජනතාවගේ අරගලවලට පවා නායකත්වය ගෙන කටයුතු කළා. 1986-87 කාලේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි දේශපේ‍්‍රමී අරගලයට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියෙන් සිටිමින් අරගල කළා. වසර හතළිහක් පුරා ශිෂ්‍ය ව්‍යාපාරය එම කැපකිරීම සිදුකළා. ආදර්ශය දුන්නා. ජයග්‍රහණ අත්පත් කරගත්තා. 1977න් පසු ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ මොහොතේත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වෙලා තිබෙන්නේ පාලක පංතියේ අනුකම්පාව නිසා නොව ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය දැවැන්ත අරගලය නිසයි. බොහෝ අයට අද නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවී තිබෙන්නේ පසුගිය වසර 40ක් තුළ ශිෂ්‍ය ව්‍යාපාරය කළ දැවැන්ත කැපකිරීම් නිසයි. තවදුරටත් ඒ අරගලය ඉදිරියට ගෙන බව අපිට විශ්වාසයක් තිබෙනවා.
අපේ රට බාරගන්න ඉන්න ඔබ තේරුම්ගත යුතු දෙයක් තිබෙනවා. දැන් පවතින ධනවාදී සමාජ ක්‍රමය ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අසමත් වෙලා තිබෙනවා. මේ වනවිට අර්බුදයෙන් අර්බුදයට ගිය ධනපති පංතියට තම පාලනය පවත්වාගෙන යෑමට නොහැකි තත්වයකට පත්වී තිබෙනවා. අවුරුදු 67ක් තිස්සේ ධනපති පංතිය අපේ රට පාලනය කළා. 1948 සිට 1956 දක්වා හවුලේ රට පාලනය කළා. 1956න් පසුව මේ කණ්ඩායම් දෙක වෙන් වෙන්ව රට පාලනය කළා. වසර 67කට පසුව නැවතත් හවුලේ රට පාලනය කරනවා. පවුල් ආණ්ඩුව පරාජයට පත් කරලා හදපු හවුල් ආණ්ඩුව දැන් පවුල් ආණ්ඩුව කරපු දේම කරමින් ඉන්නවා. හවුල් ආණ්ඩුවක් වුණත් පවුල් ආණ්ඩුවක් වුණත් ඒ ආණ්ඩුව ධනපති ආණ්ඩුවක් නම් ඔවුන්ට ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට උත්තර නැහැ. නමුත් අපි අරගලය නැවැත්විය යුතු නැහැ.
මේ ධනවාදී අර්බුදයේ ඵලදාව මොකක්ද? මේ ධනපති සමාජ ක්‍රමය දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න අසමත් වී තිබෙනවා. වසරක තුන්ලක්ෂ හැටදාහක් පළමු වසරට ඇතුළත් වෙනවා. ඉන් හැටදහසක් 10වෙනි වසරට යන්න පෙර පාසල් යෑම අත්හැර දමනවා. ඒ දෙමාපියන්ගේ ආර්ථික අපහසුතාවය නිසා හෝ පාසලක් අහිමිවීම නිසා. ඉතිරි ලක්ෂ තුනෙන් සාපෙළ විභාගයට පෙනී සිටීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නේ 25,000ත් 30,000ත් අතර පිරිසක් පමණයි. මොකක්ද මේ අධ්‍යාපන ක්‍රමය. ආණ්ඩු මාරු වුණාට ඇමතිවරු මාරු වුණාට තවමත් ප්රශ්නය එතනමයි. මෙය තමයි ධනවාදයේ අර්බුදය. 21වෙනි සියවසේදීත් ලෝකයේ ජනගහනයෙන් බිලියනයකට ලියන්න කියන්න හැකියාවක් නැහැ. ලෝකයේ ජනගහනයෙන් 1/7කට ලියන්න කියන්න බැරිනම් ධනවාදය විසින් ලෝකය උරුම කරදී තිබෙන්නේ මොනවද? ධනවාදය අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ දරුවන් අධ්‍යාපනයේ රඳවාගන්න නොව අධ්‍යාපනයෙන් පිටමං කරන්නයි. 5 වසර ශිෂ්‍යත්ව විභාගය, සා/පෙළ, උ/පෙළ, උපාධිය මේ සියලූ දේ සඳහා ප්‍රතිපත්ති හදන්නේ ශිෂ්‍යයින් පහළට ඇද දමන්නයි.
ඒ විතරක් නෙවෙයි මේ ධනවාදී සමාජය තුළ දරුවන්ට රැකවරණය අහිමි වෙලා තිබෙනවා. හොඳම දේ දරුවන්ට කියලා පාලකයෝ ළමා දිනය සමරනවා. නමුත් අපේ රටේ දරුවන් රැුකබලාගන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. ආර්ථික ප්‍රශ්න නිසා අම්මා රට ගිහින්. නැතිනම් තාත්තා දරු පවුල දාලා ගිහින්. පවුල් සංස්ථාව කඩාවැටිලා. අපේ රටේ කාන්තාවන්ට රට යන්න සිදුවුණේ අයි? අපේ රටේ ඔවුන්ට ජීවත් වෙන්න ආදායමක් නැති නිසයි. ඒකට වගකිව යුත්තේ ආණ්ඩුව නෙමෙයිද? විද්‍යා දැරිය දූෂණය කර මරාදැම්මා. සේයා දැරිය දූෂණය කර මරාදැම්මා. ඒ සිදුවීම් සිදුවන විට අපේ සමාජයේ බොහෝ දෙනා අපරාධකාරයා එල්ලා මරන්න කඹයක් සොයනවා. තනි තනි අපරාධකාරයන් එල්ලලා මේ ප්රශ්නය විසඳන්න පුළුවන්කමක් නැහැ. මිනිසුන් අපරාධකාරයන් කරන මේ සමාජය ක්‍රමය එල්ලා මරන්න කඹයක් සෙවිය යුතු නැද්ද?
දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. ඔවුන් තරුණයන් වූ පසු ජීවත් වෙන්න රැකියාවක් නැහැ. ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ 10ක් පමණ ඉන්නවා. එක් වසරකට ලක්ෂ 03ක් පමණ රැකියා විරහිතයින් එකතු වෙනවා. පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ වසරකට ලබාදිය හැක්කේ රැකියා 65,000ක් පමණයි. ඉතිරි තරුණ තරුණියන් කොහොමද ජීවත් වෙන්නේ. ඔවුන්ට ජීවත්වීමේ අර්බුදයක් එනවා. ඒ නිසා තමයි ඔවුන් බෝට්ටුවල නැගලා පිටරටවල්වලට යන්න උත්සහ කරන්නේ. එසේත් නැත්නම් විවිධ සමාජ විරෝධී වැඩවලට හවුල් වෙනවා. අනාගත බලාපොරොත්තු, අපේක්ෂා නැති තරුණ පරම්පරාව අපරාධකාරයන් බවට පත්වෙනවා. එහෙත් නැත්නම් ඔවුන් දිවි නසාගන්න පෙළඹෙනවා. දිවි නසාගැනීම්වලින් ලංකාව සිටින්නේ ලෝකයේ හතරවන ස්ථානයේ. එනිසා මේ ධනවාදී සමාජ ක්‍රමය දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි, තරුණයින්ට ජීවිතයක් දෙන්න බැරි, වැඩිහිටියන්ට රැකවරණය දෙන්න බැරි සමාජ ක්‍රමයක් බවට පත්වෙලා තිබෙනවා. ජනතාවට රැකවරණට දෙන්න බැරිනම්, මිනිස්සුන්ට මිනිසුන් ලෙස සලකන්න බැරිනම් එහෙම සමාජයක් මොකටද?
රටේ ආර්ථිකය කඩාවැටිලා. සෑම පුද්ගලයම රුපියල් ලක්ෂ හතරක ණයකාරයෙක් බවට පත්කරලා. වී ගොවියට වී ටික විකුණගන්න බැහැ. තේ ගොවියට තේ දල්ලට මිලක් නැහැ. රබර් ගොවියට රබර් ටිකට මිලක් නැහැ. ආදායමක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද? ළමයින්ට අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද? වී මිල අඩු වුණාට හාල් මිල වැඩිවෙනවා. තේ දළු කිලෝ එක මිල අඩුවුණාට තේ කුඩු මිල ඉහළ යනවා. රබර් ටිකේ මිල අඩු වුණාට රබර් නිෂ්පාදන මිල එන්න එන්න වැඩිවෙනවා. මොන ආර්ථික විද්‍යාවෙන්ද මේක තේරුම් ගන්නේ. මේ ප්‍රශ්න දැන් සමාජ ඛේදවාචකයක් බවට පත්වෙලා. මේ ධනපති ක්‍රමය ලාභය ගැන පමණයි හිතන්නේ. මානව සබඳතා අහෝසි කර දමා තිබෙනවා. එනිසා මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමේ වගකීම තිබේ ශිෂ්‍යයින් වන ඔබටයි. දරුවො තමන්ගෙ දෙමාපියන් බලූ කූඩුවල දානවා. දෙමාපියන් දරුවන් පොළවේ ගසා මරා දානවා. සැමියන් දරුපවුල ජීවත් කරන්න බැරිව බිරිඳයි දරුවයි ගඟට තල්ලූ කරනවා. දරුවන් දෙමාපියන්ට හිංසා කරනවානම්, දෙමාපියන් දරුවන්ට හිංසා කරනවානම් එවැනි සමාජයක කොහොමද ජීවත් වෙන්නේ. මේ තරමට පිරිහුණු සමාජයකයි අපි ජීවත් වෙන්නේ. එවැනි සමාජයක් දිහා බලාගෙන ජීවත් වෙන්න ඔබ සූදානම්ද? තමන්ගේ පාඩුවේ ආත්මාර්ථකාමී ලෙස ජීවත් වෙන්න ඔබ සූදානම්ද? එමනිසා ශිෂ්‍ය පරපුරට නව සමාජයක් ගොඩනැගීමේ වගකීම පැවරී තිබෙනවා.
ඇමරිකාවේ කළු ජාතිකයෙක් වූ මාටින් ලූතර් කිං වරෙක කියා තිබෙනවා අපේ යුගයේ ඛේදවාචකයනම් නපුරු මිනිසුන්ගේ නපුරු කි‍්‍රයා නොව හොඳ මිනිසුන්ගේ නිහැ`ඩියාවයි කියලා. දැන් සුභවාදී දෙයක් අපිට පෙනෙන්නට තිබෙනවා. ඒ තමයි හොඳ මිනිසුන් නිහැඬියාව බිඳලා නපුරට එරෙහිව සටන් කරන්න පටන් අරගෙන තිබෙනවා. මීට වසර 150කට පෙර එංගල්ස් කිව්වා, මානව සමාජය සමාජවාදය කරා පෙරට නැත්නම් ම්ලේච්ඡුත්වය කරා ආපස්සට යා යුතු තීරණාත්මක අවධියකට පත්වෙලා තිබෙනවා කියලා. වසර 150කට පසුවත් අපිට කියන්න තිබෙන්නේ එම ප්‍රකාශය තමයි. දැන් අපිට දකින්නට තිබෙන්නේ මානව සමාජය ම්ලේච්ඡුත්වය කරා ගමන් කරන යුගයක්. විද්‍යා ඝාතනයෙන්, සේයා ඝාතනයෙන්, පියා බලූ කූඩුවේ දැමීමෙන් පෙන්වන්නේ එම යුගයේ ප්‍රතිඵල නෙවෙයිද? එනිසා මේ සමාජය ම්ලේච්ඡුත්වය කරා ආපසු ගමන් කිරීම නවත්වන්න ඕනැ නැද්ද? එනිසා මේ සමාජය ධනවාදය ඔස්සේ ම්ලේච්ඡුත්වය කරා ආපස්සට ගමන් කරනවා වෙනුවට සමාජවාදය දක්වා පෙරට ගමන් කරවීමට සටන් පෙරමුණේ සිටින බවට සමාජවාදී ශිෂ්‍ය සංගමය පණිවුඩයක් දිය යුතුව තිබෙනවා. එම සටනේ පෙරමුණ ගත යුත්තේ ශිෂ්‍යයින් වන ඔබයි.”




















