සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවකට පහරදී හිරිහැර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය දා නීතිඥ සංගමයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී සරත් ආබෘ විනිසුරුවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් එම යෝජනාව විධායක සභාවේ අනුමැතිය හිමි වූ බවත් නීතිඥ සංගමය පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා ප්‍රකාශ කර ඇත්තේ මාස කිහිපයකට පෙර සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත අදාළ විනිසුරුවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ බවත් එහිදී කාන්තාවගෙන් ලබා ගත් ප්‍රකාශයන් රහස් පොලිසිය නීතිපතිවරයා වෙත යවා ඇතත් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවය. පැමිණිලිකාරියට මෙන්ම සැකකරුවන්ට සාධාරණය ඉටුවන සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.









