නොමිලේ යතුරුපැදි වෙනුවට මාධ්‍යවේදීන්ව නොමිලේ බසයෙන් යැවීමට සැරසේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල හැදුනුම්පත හිමි සියලුම මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවල නිදහසේ ගමන් කිරීමේ අවස්ථාව ලබා දීමට ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල ගමන් කිරීමේදී නිදහස් බලපත්‍රයක් ලෙස ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන හැඳුනුම්පත භාවිතා කිරීමට හැකි පරිදි මෙම අවස්ථාව උදා කර දීමට ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග සාකච්ඡා සිදු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ප්‍රවාහන ඇමතිවරයා මඩකලපුවේදී ප්‍රකාශ කර සිටියේ ETF හා EPF ගෙවීමට ඇතුළුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් බිලියන 13ක ණයක් ගෙවිය යුතුව පවතින බවත් ඉදිරියේදී ශ්‍රී ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත්කළ යුතු බවය. මේ වනවිට සිය සේවකයින්ගේ වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්වයකට ශ්‍රී ලංගමය පත්ව තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දින සියයේ වැඩපිළිවෙල යටතේ මාධ්‍යවේදීන්ට යතුරුපැදි ලබා දෙන බවට ප්‍රකාශ කරමින් ඒ සඳහා අයදුම් පත් කැඳවනු ලැබුවත් ආණ්ඩුවේ එම ප්‍රකාශය බොරුවක් බවට මේ වනවිට පත්ව තිබේ. ජනාධිපතිවරණයෙදී තමන් රැවටීමට ලක් කළ බවට මාධ්‍යවේදීන්ගෙන් ආණ්ඩුවට එල්ල වී තිබෙන විරෝධය සමනය කර ගැනීම වෙනුවෙන් මෙවැනි ප්‍රකාශයන් සිදු කරමින් සිටිනවා දැයි යන්න මාධ්‍යවේදීන් තුළ සාකච්ඡාවක් මතුව තිබේ.

Facebook
Twitter
LinkedIn