අගමැති රනිල් ඉන්දියාවට – සීපා ගැන කතා නැහැලු

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ ආරාධනයකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක්   සඳහා අද (14) දිනයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත් වීමට නියමිතය.

මෙම සංචාරය සඳහා අගමැතිවරයා සමග සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි හා ඉන්දීය නව ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත ඇසළ වීරකෝන් යන පිරිස ද එක්වන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සංචාරයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉන්දීය අග්‍රමාත්‍යවරයා හා සීපා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි යන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳව ඇමති මලික් සමරවික්‍රම මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ආන්දෝලනාත්මක සීපා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සංචාරයේදී සාකච්ඡාවට ලක් කිරීමට සූදානම් බවට ප්‍රකාශ වීමත් සමග අගමැතිවරයාගේ සංචාරයට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් රටතුළ ගොඩනැගී තිබේ. සීපා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විශේෂයෙන්ම මෙරටට සියලුම ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ඉන්දියානු ශ්‍රමිකයන් පැමිණීමේ අවධානමක් පවතී. එසේම ශ්‍රී ලංකාවේ කුඩා කර්මාන්තයේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා සියලුම කර්මාන්තයන් කඩා වැටීමේ අවධානමක්ද පවතී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පූර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් සීපා ගිවිසුමට සම්බන්ධ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2003 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදීය. මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ හා සේවා වෙළඳාම, දේශසීමා බාධාවකින් තොරව රැකියාවල නියැලීමේ අයිතිය, ආයෝජන, ගුවන් සේවා සහ රේගු සේවා ආදී අංශ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාව තුළ එයට එරෙහිව මතුවූ ප්‍රබල විරෝධය හමුවේ මෙතෙක් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි ව පවතී.

 

Facebook
Twitter
LinkedIn