මහින්ද පිළ ශ්‍රිලනිපයෙන් වෙන් වීමට සැරසේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් දුර්වල කිරීමට මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර යන පිරිසගෙ මූලිකත්වයෙන් අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ඇති බව හෙළි වෙමින් තිබේ.

එම වැඩපිළිවෙලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවට විරුද්ධ මන්ත්‍රීවරුන් පළමුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය. ඉන් පසුව ඔවුන් ශ්‍රීලනිපයෙන් ස්වාධීන වී වෙනම පෙරමුණක් කටයුතු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම පෙරමුණ ආරම්භයේදී එහි නායකත්වය කුමාර වෙල්ගමට ලබා දීමටත් පසුව එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කර ගැනීමටත් ඔවුන් සැලසුම් කර ඇති බව පැවසේ. මේ වනවිට ජාතික ආණ්ඩුවට විරුද්ධ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  තිස් දෙදෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඔවුන්ගේ අත්සන් සහිත ලිපිය මේ මස 22 වැනි දිනට පෙර පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.  එම කණ්ඩායමට සන්ධානයේ හවුල්කාර මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන කණ්ඩායමද පසුව එක්වීමට සූදානම් බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn