රන් සොරකමට මහින්දගේ ඥාතියා කොටුවෙයි

කටුනායක ගුවන්තොටුපළේ සේප්පුවක තිබියදී සොරකම් කර ඇති රුපියල් කෝටි ගණනක් වටිනා රත්‍රං, මැණික් හා වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණයක් පවත්වන අතර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඥාතියකු වන  ප්‍රසන්න වික්‍රමසූරිය ආසන්න දිනයකද එහි කැඳවීමට නියමිත  බව වාර්තා වේ.

ගුවන් සේවා සමාගමේ නිලධාරීන් පිරිසක් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර හිටපු සභාපතිවරයා පසුගිය කාලයේ විදේශගතව සිට මේ වනවිට දිවයිනට පැමිණ සිටින බව පැවසේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා යන එන මගීන් දමාගිය ගමන් මලුවල තිබී සොයාගනු ලැබූ රත්‍රං, මැණික් ඇතුළු වටිනා ද්‍රව්‍ය මෙලෙස සේප්පුවේ තැන්පත් කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට නීති විරෝධීව රැගෙන එන සහ නීතිවිරෝධීව රටින් පිටමන් කිරීමට ගෙන එන රත්‍රං, මැණික් හා වටිනා ද්‍රව්‍ය ආරක්ෂක අංශවලට බියෙන් අතරහැර යන අවස්ථාවලදී එම භාණ්ඩද මෙලෙස කාලයක් තිස්සේ සේප්පුවේ තැන්පත් කර තිබෙන බව පැවසේ.

මෙම සේප්පුවේ භාරකාරීත්වය හා අධීක්ෂණය ලෙස ගුවන් සමාගමේ සභාපතිවරයා, කළමනාකරුවන්  ඇතුළු කිහිප දෙනෙකු යටතේ පැවතී තිබේ. මෙම සේප්පුවේ තිබූ භාණ්ඩ අතුරුදන් වීම පිළිබඳව අනාවරණය වී ඇත්තේ මීට ටික දිනකට පෙර තමන්ගේ නැති වූ භාණ්ඩයක් පිළිබඳව තොරතුරු සොයා ආ ගුවන් මගියෙකුගෙන් පසුව සේප්පුව පිළිබඳව සොයා බලද්දී එහි තිබූ වටිනා භාණ්ඩ විශාල ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බව අනාවරණය වී තිබේ.

රාජපක්ෂ පාලන සමයේ ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නොපැවැත්වූ අතර කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලෙන් අනතුරුව මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ වී තිබේ.

Facebook
Twitter
LinkedIn